ඩොලර් එකත් රැගෙන ජනපති කැබිනට් එකට

ජනාධිපතිවරයා කියලා තිබුණේ, රටේ විදේශ විනිමය අර්බුදය ගැන දැඩි අවධානයෙන් බලන්න ඕනේ කියලා. විශේෂයෙන්ම දැනට තියෙන ඩොලර් සංචිත ආරක්ෂා කරගැනීම දැන් ලොකුම අභියෝගයක් වෙලා තියෙනවා කියලාත් ඔහු සඳහන් කරනවා.
ඔහු පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව වගේ ආනයන මත ගොඩක් යැපෙන රටකට විදේශ මුදල් පාලනය කරගෙන යාම ලේසි වැඩක් නෙවෙයි කියන එකයි. ඒ නිසා ඩොලර් වියදම් කිරීම ඉතාමත් වගකීමෙන් සහ සැලසුම් සහගතව කරන්න ඕනේ කියලාත් ජනාධිපතිවරයා අවධාරණය කලා.
මේ අතර අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කරන්න සිදුවෙයි කියලාත් ඔහු සඳහන් කරලා තිබෙනවා. හැබැයි, “එක කෙනෙකුට අත්‍යවශ්‍ය නැති දෙයක් තවත් කෙනෙකුට අත්‍යවශ්‍ය වෙන්න පුළුවන්” කියලා කියමින්, මේ ගැන ඉතා සැලකිල්ලෙන් තීරණ ගන්න ඕනේ කියලාත් ඔහු කියනවා.
ජනාධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ, රටේ ඩොලර් සංචිතයෙන් විශාල කොටසක් වැය වෙන්නේ ඉන්ධන සහ වාහන ආනයනයට කියලා. ඉන්ධන ගෙන්වීම නතර කරන්න නම් කොහොමත් බැහැ. ඒ නිසා විකල්පයක් විදිහට වාහන ආනයනය තාවකාලිකව අඩු කරන්න හෝ සීමා කරන්න සිදුවෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා.
හැබැයි, වාහන ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කළොත් දැන් ටික ටික යථා තත්ත්වයට එන වාහන වෙළෙඳපොළ ආයෙත් කඩා වැටෙන්න ඉඩ තියෙනවා .
ඒ නිසා සම්පූර්ණ තහනමක් වෙනුවට, වාහන ආනයනය අධෛර්යමත් කරන්න විශේෂ අධිභාරයක් පැනවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරලා තිබෙනවා. මේ වැඩපිළිවෙළ මුල් මාස තුනක කාලයක් ක්‍රියාත්මක කරන්නත් සැලසුම් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා.
