ටිකට් එකේ ගාණට වඩා සල්ලි වැඩිපුර ඉල්ලුවොත් 118ට හෝ 119ට කතා කරන්න – ශ්‍රී ලංකා පොලිසියෙන් නිවේදනයක්

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවල සහ පෞද්ගලික බස් රථවල ගමන්ගන්නා මගීන්ගෙන් වැඩිපුර මුදල් අයකළොත් 118 හෝ 119අංකවලට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ පිළිබදව ශ්‍රී ලංකා පොලිසිය සිය මුහුණු පොතේ සටහනක් තබමින් මේ පිළිබද දන්වා සිටී.
උපුටාගැනීම
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවල සහ පෞද්ගලික බස් රථවල ගමන්ගන්නා මගීන්ගෙන් ගමන්ගාස්තු අයකිරීමේදී, දුර ප්රමාණයට අදාල නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අයකරන බව මහජන පැමිණිලි තුලින් වාර්තා වී ඇත.
ශ්රී ලංකා පොලිසිය හා ජාතික ගමනාගමන කොමිෂන් සභා නිලධාරින් එක්ව සිදු කරන ලද අහඹු බස් රථ පරීක්ෂා අවස්ථා කිහිපයකදී එලෙස මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අයකර ගෙන ඇති බව අනාවරණය වී ඇති අතර එවැනි බස් රථ සම්බන්ධව 118, 119 යන ක්ෂණික දුරකථන අංක මගින් වාචිකව පැමිණිලි ඉදිරිපත්කරන ලෙස දැනුම්දෙන්නෙමු.
පොලිසියට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත්කිරීමේ හැකියාවද ඔබට පවතී.
මෝටර් වාහන පනතේ 173 වගන්තිය අනුව, “යම් බස් රථයක අයිතිකරු, රියැදුරු හෝ කොන්දොස්තර විසින් යම් ගමන් මාර්ගයක හෝ මහා මාර්ගයක යම් ගමනක් සම්බන්ධයෙන් යම් බස් රථයක් පාවිච්චි කරනු ලබන්නේ බස් රථ ධාවන අවසර පත්රයක බලය යටතේද, ඒ බස් රථ ධාවන අවසරපත්රයේ යම් තත්ත්වයක් නිසා ඒ ගමන් මාර්ගය හෝ මහා මාර්ගය සම්බන්ධයෙන් බලය දෙනු ලැබූ ගාස්තුව ඉක්මවමින් යම් ගාස්තුවක් යම් මගියෙකුගෙන් ඉල්ලීම හෝ භාර ගැනීම නොකල යුතුය” යනුවෙන් සඳහන් වේ.
එවැනි වැරදි සිදුකරන තැනැත්තන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්රහයේ 372 – බලෙන් ලබා ගැනීම, 398 – වංචා කිරීම, 386 – සාපරාධී සාවද්ය පරිහරණය යන වගන්ති ප්රකාරව ශ්රී ලංකා පොලිසිය ඉදිරි නෛතික ක්රියා මාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.
උපුටාගැනීම අවසන්
Share This