කාර්මික සංවර්ධන මණ්ඩලයේ නව සභාපති ලෙස යසස් හේවගේ වැඩ භාර ගනී

ශ්‍රී ලංකාවේ පැරණිතම ව්‍යවසාය සංවර්ධන ආයතනයක් වන කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) නව සභාපතිවරයා ලෙස යසස් හේවගේ මහතා ඊයේ (01) සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

වසර 60කට වැඩි ඉතිහාසයක් ඇති මෙම ආයතනය, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන ආයතනයක් ලෙස සැලකෙනවා.

බැංකු හා මූල්‍ය, ව්‍යාපාරික උපාය මාර්ග, අලෙවිකරණය, ව්‍යවසායකත්ව සංවර්ධනය සහ ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රවල වසර 20කට ආසන්න අත්දැකීම් ඇති වෘත්තිකයෙකු වන යසස් හේවගේ මහතා, මෙම පත්වීමට පෙර කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද සේවය කර තිබෙනවා.

එමෙන්ම, ජාතික SME උපායමාර්ගික රාමුව සංවර්ධනය කිරීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස සහ යෝජිත ව්‍යවසායකත්ව හා කර්මාන්ත පරිවර්තන අධිකාරිය පිහිටුවීම සඳහා කටයුතු කරන නායකත්ව කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසද ඔහු දායකත්වය ලබා දී තිබෙනවා.

HSBC සහ NDB බැංකුවල ප්‍රධාන තනතුරු රැසක් දරා ඇති ඔහු, ව්‍යවසායකත්ව සංවර්ධනය සහ විධායක පුහුණුකරණය ක්ෂේත්‍රවලද පුළුල් පිළිගැනීමක් හිමි පුද්ගලයෙකු ලෙස සැලකෙනවා.

සිය පත්වීම පිළිබඳ අදහස් දක්වමින් යසස් හේවගේ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ කාර්මික පරිවර්තනය තාක්ෂණය, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය මත පදනම් වූ නව කාර්මික විශිෂ්ටත්වයක් කරා ගෙන යා යුතු බවයි.

මෙම පත්වීමත් සමඟ කාර්මික සංවර්ධන මණ්ඩලය කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය, නවෝත්පාදන ප්‍රවර්ධනය සහ කර්මාන්ත පරිවර්තනය ඉලක්ක කරගත් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Share This