”කුරුල්ලෝ” කියන්නෙ ලංකාව ඇතුළෙ මීට කලින් මම නොදැකපු ආකාරයේ ටෙලි පිටපතක්…” – ජනප්‍රිය රංගන ශිල්පිනි මදාරා සෙව්වන්දි
ලාංකීය ටෙලි තිරය සරසන සොඳුරු තාරකාවියකි ඇය… මදාරා සෙව්වන්දි….
නිතර නිතර නිර්මාණ ඔස්සේ දකින්න නොලැබුණාට මොකද, මදාරා කාගෙත් හිත්ගෙන ඉන්නෙ අවිහිංසක චරිතයක් හැටියට.
ඊටම ගැළපෙන සරල සුන්දරත්වයක් හිමි අපූරු රුවක් ඈ සතුයි.
බහුතර මතයට අනුව නම්, මදාරාගේ රුව ‘මලයාලම් සිනමාවට’ හරිම සමීපයි.
මේ කතාව වඩාත් ප්රත්යක්ෂ වන අන්දමේ ලස්සන වැඩක් නුදුරේදීම ඔබට දැකබලාගන්න පුළුවන්.
ඒ, ජනවාරි 07 වැනිදා සිට සතියේ දිනවල සවස 6.20 ට ස්වර්ණවාහිනිය ඔබේ ආලින්දයට අරන් එන ”කුරුල්ලෝ” ටෙලි සිත්තමේ ප්‍රධාන චරිතය තුළින්.
monara.com අපේ මේ රසබර කතාබහ ඒ ගැන…
මදාරා සෙව්වන්දි කියන නම රංගන ශිල්පිනියක් හැටියට නිතර නිතර ම කතාබහට ලක්නොවෙන්න හේතුවක් තියෙනවා. ඇය අපිට මුලින්ම කිව්වෙ ඒ ගැන…
”මම වෘත්තියෙන් ‘මනෝ උපදේශකවරියක්’. ඒ අතරතුර තමයි නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වෙන්නෙ.
පුළුවන් තරම් සීමිත නිර්මාණ කිහිපයක, තෝරා බේරාගෙන රංගනයෙන් දායක වන නිසයි නිතරම මාව දකින්න නොලැබෙන්නෙ.
ඒ වගේම ආරාධනා ලැබුණු නිර්මාණ කිහිපයකම චරිත එකම වගේ ඒවා.
එහෙම තැන්වලදිත් ඒ වගේ ආරාධනා ප්‍රතික්ෂේප කරන්න වෙනවා.
කොහොමත් මම එක සැරයකට එක නිර්මාණයක් තෝරගෙන, ඊට උපරිම සාධාරණයක් කරන්නයි උත්සාහ ගන්නෙ…”
ඈ එහෙම සීමිත නිර්මාණ කිහිපයක පමණක් රංගනයේ යෙදුණත්, ඒ රංගනයන් රසික රසිකාවියන් අතරෙ කතාබහට ලක්වන ආකාරයේ ඒවා වීම විශේෂයි.
”කුරුල්ලෝ” කියන්නෙත්, එහෙම කතාබහට ලක්වෙන්න නියමිත වැඩක් කිව්වොත් හරි.
”කුරුල්ලෝ කියන්නෙ ලංකාව ඇතුළෙ මීට කලින් මම නොදැකපු ආකාරයේ ටෙලි පිටපතක්.
එහි අධ්යක්ෂ ගවිඳු දීසුර තමයි මට මේ නිර්මාණය වෙනුවෙන් ආරාධනා කරන්නෙ. පිටපතත් ඔහුගේමයි.
ඉතින් මුලින්ම පිටපත කියෙව්වාම මට හිතුණෙ, මේක මීට කලින් නොදැක්ක ආකාරයේ වෙනස්ම පිටපතක් කියන එක….”
මදාරාව මෙතෙක් අහිංසක චරිතයක් හැටියට දැක්කාට, ‘කුරුල්ලෝ’ එක්ක පියාඹන්න සැරසෙන ‘හංසි’ නම් ඊට හාත්පසින්ම වෙනස් වගේ.
‘‘හංසි කියන්නෙ ටිකක් විතර දඟකාර, ගමක හැදුණු පොඩි කෙල්ලෙක්.
ලස්සන බෝනික්කො ලස්සන ලස්සන විච්චූරණ දේවල් වටකරගෙන ඉන්න ආස කරන ගෑණු ළමයෙක් නෙවෙයි එයා.
එයාට ඕනි කඩචෝරු විතරයි. එයාගෙ ලෝකෙ තියෙන්නෙ කඩචෝරු…”
”හංසි, මම රඟපාන්න කැමැත්තෙන් උන්නු ආකාරයේ චරිතයක් වීම ගැන මට සතුටුයි.
ඒ නිසාම ඊට මගෙන් උපරිම සාධාරණයක් ඉටුවුණා කියන විශ්වාසයත් මට තියෙනවා.
සැබෑ ජීවිතයෙත් මම සරලව සාමාන්‍ය විදියට ඉන්න කැමති කෙනෙක්.
අනවශ්‍ය විදියට දේවල් සීරියස් ගන්න චරිතයකුත් නෙවෙයි. එහෙම සීරියස් වෙන තැනුත් තියෙනවා.
හැබැයි එදිනෙදා වැඩවලදි අනවශ්‍ය විදියට හිත හිත කරදර වෙන කෙනෙක් නෙවෙයි.
ඉතින් කුරුල්ලො ටෙලි ඩ්‍රාමා එකේ හංසි කියන්නෙත් එහෙම චරිතයක්.
ඒ වගේම රඟපෑමට විතරක් ම නෙවෙයි, මම කොහොමත් පැණිරස කන්න ආස කෙනෙක්.
ඒ සමානකමත් මේ චරිතෙ ඇතුළෙ තියෙනවා…”
මේ කතාවෙ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මදාරා සෙව්වන්දි ප්‍රධාන චරිතය රඟපාන පළවෙනි ටෙලි සිත්තම තමයි, ‘කුරුල්ලෝ’
”ඒ ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්. මොකද මේ වගේ වෙනස් නිර්මාණයක ප්‍රධාන චරිතය වෙන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි.
චරිතයට මාව ගැළපෙනවා කියලා තෝරාගැනීම ගැන ස්තුතිවන්ත වෙන්න ඕනි එහි අධ්යක්ෂවරයාට.
ඔහුගෙන් මේ ආරාධනය එද්දිම මට කිව්ව දෙයක් තමයි, චරිතය ලියවුණේ ම මාව ඊට ගැළපෙනවා කියන පූර්ව නිගමනයේ සිට බව.”
නිර්මාණයක චරිතයක් සාර්ථකව ගොඩනැඟෙන්න, ඊට අනෙක් චරිත දක්වන සහයෝගය ඉතාම වැදගත්. මදාරා ඒ ගැනත් අපිට කිව්වා..
‘‘ඇත්තටම ඒ වෙනුවෙන් මේ කණ්ඩායමෙන් ම ලොකු සහයෝගයක් ලැබුණා කිව්වොත් හරි.
විශේෂම දේ තමයි, හැමෝම මේක තමන්ගෙ වැඩක් කියලා හිතලා වැඩ කරන එක…”
”කුරුල්ලෝ” ඔබ වෙත ගෙනෙන එහි අධ්යක්ෂ ගවිඳු දීසුර, තවමත් ඉතාම තරුණ වියේ පසුවන නමුත් දක්ෂ අධ්යක්ෂවරයෙක්. නව අදහස් ඇති එවන් අයෙක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන මදාරා අපිට කිව්වෙ මෙහෙම කතාවක්.
‘‘ඔහු, සාර්ථක ඉදිරි ගමනක් තියෙන අධ්යක්ෂවරයෙක් කියන කාරණය මේ නිර්මාණයෙන් හොඳටම පැහැදිලියි.
හරිම ලස්සන අදහස් ගොන්නක් ඔහුට තියෙන්නෙ.
නිතර අප්ඩේට් වෙන චරිතයක්. වැදගත්ම දේ තමයි අපේ අදහස්වලටත් ඇහුම්කන් දෙන කෙනෙක් වීම…”
ආරම්භයේ සඳහන් කළාක් මෙන් වෘත්තිය ‘මනෝ උපදේශනය’ වුණු මදාරා, රංගන ශිල්පිනියක් හැටියට හාත්පසින්ම වෙනස් කාර්යකින් ප්‍රේක්ෂකයින් ඉදිරියට පැමිණීම සුවිශේෂීයි.
”වෙනස්ම ක්ෂේත්‍ර දෙකක්. මම පළවෙනි තැන දෙන්නෙ මගේ වෘත්තියට. නමුත් රංගනය කියන්නෙත් මම ආසාවෙන් නියැලෙන කාර්යයක්.
ඒ නිසාම ඒකට විනෝදාංශයක් කියලා කියන්නත් මට බෑ.
වෘත්තියට මුල්තැන දීලා නිර්මාණ අඩුවෙන් භාරගත්තත්, ඒ භාරගන්න නිර්මාණයට උපරිම සාධාරණයක් කිරීමයි මගේ අරමුණ.
උපදේශකවරියක් හැටියට, ඒ කියන්නෙ මගේ වෘත්තීය ම චරිතයක් ඔස්සේ ප්‍රේක්ෂකයින් අතරට අරන් එන්න ලැබුණොත් ඒකත් විශේෂ දෙයක් වෙයි…”
අපි කතාබහ පටන් ගත්තෙම මදාරාට තියෙන්නෙ, මලයාලම් සිනමාවට සමීප රූපයක් කියන තැනින්නෙ. ඒ වගේම ‘කුරුල්ලෝ’ ටෙලි නිර්මාණයත් මලයාලම් සිනමා රූපවලට ළඟ බව ආරංචියි.
‘‘මේ ටෙලි නාට්‍ය මම මුලින්ම කිව්වත් වගේ වෙනස් පිටපතක්.
අපේ සාමාන්‍ය ජීවිතවලට හරිම ළඟ කතාවක් තමයි, වෙනස්ම විදියට ලස්සනට ගලාගෙන යන්නෙ.
ඇත්තටම මමත් මලයාලම් සිනමාවේ දැකලා තියෙන සමහර දේවල් මේ කතාව ඇතුළෙත් දැක්කා.
ඒ නිසාම වෙන්නත් ඇති දැනටම ගොඩක් දෙනා අතරෙ අදහසක් තියෙන්නෙ, මේ ටෙලි නිර්මාණය ඊට සමාන බව…”
”ඉතින් මම කැමතියි, හැමෝටම ආරාධනා කරන්න මේ වෙනස්ම ටෙලි නාට්‍ය අත්දැකීම විඳගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා.
මම විශ්වාස කරනවා අපේ ප්‍රේක්ෂකයින් අනිවාර්යයෙන්ම ‘කුරුල්ලෝ’ ටෙලි නිර්මාණය ආදරයෙන් වැළඳ ගනිවී කියලත්…”
එහෙනම් අපිත් ඔබට ආරාධනා කරනවා, ජනවාරි 07 වැනිදා සිට සෑම සතියේ දිනකම සවස 6.20 ට ‘කුරුල්ලෝ’ ටෙලි අහසේ පියාසර කරන අපූරුව දැකබලා ගන්නා හැටියට….