ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද (30) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව,වයඹ සහ දකුණු පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇති වන බව සඳහන්.

නැගෙනහිර, ඌව, දකුණු, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බව සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

Share This