අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ගණන් නොගන්නා විදුහල්වල උත්සව අවලංගුයි

විවිධ ප්‍රසංගයේ නර්ථනාංග සඳහා එක් දරුවෙකුගෙන් රුපියල් 10000 ක් එකතු කරලා

අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ගණන් නොගන්නා විදුහල්වල උත්සව අවලංගුයි

රජයේ පාසල් වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අනුමත ගාස්තු හැර දෙමව්පියන් ගෙන් මුදල් ලබා ගැනීම නොකළ යුුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛන මගින් දැනුම් දී තිබිය දී, අදාළ චක්‍රලේඛන උල්ලංඝනය කරමින් සිසුන්ගෙන් මුදල් එකතු කර මහනුවර ධර්මරාජ විදුහලේ ප්‍රාථමික අංශය මගින් පවත්වන්නට සූදානම් කර තිබූ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය තාවකාලිකව අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විදුහල්පතිවරයාට (රාජකාරි ආවරණ) ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ප්‍රාථමික අංශය මගින් මෙම විවිධ ප්‍රසංගය හෙට (24) මහනුවර ධර්මරාජ විද්‍යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට සූදානම් කර තිබූ අතර මෑතක අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස පත්වීම් ලැබ ගිය ධර්මරාජ විදුහලේ හිටපු විදුහල්පති කමල් ආරියසිංහ මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතව සිටි බව සඳහන්.

විවිධ ප්‍රසංගය අතරතුර හිටපු විදුහල්පතිවරයාට ත්‍යාග පිරිනැමීමට ද සැළසුම් කර තිබී ඇති අතර, ඒ සඳහා ප්‍රාථමික අංශයේ එක් පංතියකින් රුපියල් 3000 බැගින් එකතු කර තිබෙන බවට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබෙනවා.

මෙයට අමතරව පළමු වසරට ළමුන් ඇතුළත් කළ දෙමව්පියන්ගෙන් ද මුදල් ලබා ගන්නා බවට ලද තොරතුරු මත මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මධුපානි පියසේන, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අධ්‍යාපන) ප්‍රභාත් මද්දුමආරච්චි යන මහත්වරු කැඳවා (22) දින ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එහි දී ගත් තීරණයකට අනුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ධර්මරාජ විදුහලේ වැඩ ආවරණය කිරීම සඳහා පත්කර තිබෙන විදුහල්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර කරුණු සොයා බලා කටයුතු කරන තෙක් ප්‍රාථමික අංශයේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය තාවකාලිකව අත්හිටුවන ලෙසයි.

විවිධ ප්‍රසංගයේ නර්ථනාංග සඳහා සහභාගි වන එක් දරුවෙකු ගේ ඇදුම් සඳහා යැයි කියමින් රුපියල් 10000 ක මුදලක් ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පතිනිය විසින් ප්‍රාථමික අංශයේ ඇයට හිතවත් ගුරුවරු හා මව්වරු මගින් එකතු කිරීමට කටයුතු කර ඇතැයි ද පෙන්වා දෙන දෙමව්පියන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට ලිපියක් යොමුකර ඇති බවයි වැඩිදුරත් වාර්තා වන්නේ.

තොරතුරු ගම්පොළ දිල්හාන් රාජනායක

Share This