දකුණු කොරියානු ගුවන් අනතුරට හේතුව කුරුල්ලෝ
පසුගිය දෙසැම්බර් මාසයේදී දකුණු කොරියාවේදී කඩා වැටුණු මගී ගුවන් යානයේ දෝෂයට හේතුව කුරුල්ලන් බව පරික්ෂණ මෙහෙයවන කණ්ඩායම පවසනවා.
ඒ එහි එන්ජින්වලින් කුරුළු පිහාටු හමුවීමත් සමගයි
ජෙජු එයාර් ගුවන් යානයේ එන්ජින් දෙකෙහිම පිහාටු සහ ලේ පැල්ලම් තිබී සොයාගෙන ඇති අතර, එම පිහාටු විශාල රංචු වශයෙන් පියාසර කරන සංක්‍රමණික තාරා විශේෂයක් වන බයිකල් ටීල් වර්ගයට අයත් බව පරික්ෂණ මෙහෙයවන කණ්ඩායම සඳහන් කරනවා.
මෙම ගුවන් අනතුරින් යානයේ සිටි පුද්ගලයින් 179 දෙනෙකු මිය ගිය අතර එය දකුණු කොරියානු ඉතිහාසයේ මාරාන්තිකම ගුවන් අනතුර බවයි විචාරකයන් පවසන්නේ.
මේ වන විට විමර්ශකයින් කුරුළු ගැටීමේ භූමිකාව සහ ගුවන් යානය කඩා වැටුණු ධාවන පථයේ අවසානයේ ඇති කොන්ක්‍රීට් ව්‍යුහය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
බෝයිං 737-800 යානයේ එන්ජින් කඩා දමා කොන්ක්‍රීට් ව්‍යුහය තවදුරටත් පරීක්ෂා කරන බව ඔවුන් අද නිකුත් කළ වාර්තාවේ සඳහන්.
දෙසැම්බර් 29 වන දින උදෑසන බැංකොක් සිට ගුවන් ගතවූ ජෙජු එයාර් ගුවන් යානය නිරිත දෙසින් පිහිටි මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පියාසර කරමින් තිබුණා.
දේශීය වේලාවෙන් 08:57 ට පමණ, නියමුවන් ගුවන් තොටුපළ සමඟ සම්බන්ධ වී මිනිත්තු තුනකට පසු, පාලක කුළුණ එහි කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබුණේ “කුරුළු ක්‍රියාකාරකම්” පිළිබඳව ප්‍රවේශම් වන ලෙසයි.
නමුත් 08:59 ට, යානයේ නියමුවා, යානය කුරුල්ලෙකු සමඟ ගැටී ඇති බව වාර්තා කළ අතර, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගොඩබෑමට අවසර ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් එම හදිසි ගොඩ බෑම අතරතුර , එහි රෝද නිසි පරිදි ක්‍රියාත්මක නොවී තිබූ අතර, යානය ධාවන පතය මතින් ඇදී ගොස්, ඉදිරියේ වූ කොන්ක්‍රීට් තාප්පයක ගැටී පුපුරා ගොස් ඇති බවයි පරීක්ෂණ නිලධාරින් යොමු කළ වාර්තාවේ දැක්වෙන්නේ.