“අධිකරණ පියස 1” සහ නවීකරණය කළ අභියාචනාධිකරණ ගොඩනැගිල්ල හෙට ජනතා අයිතියට

“අධිකරණ පියස 1” සහ නවීකරණය කළ අභියාචනාධිකරණ ගොඩනැගිල්ල හෙට ජනතා අයිතියට

අභිනවයෙන් ඉදි කරන ලද “අධිකරණ පියස 1” සහ මහජන චීන සමුහාණ්ඩුවේ පුර්ණ ප්‍රදානයක් වන නවීකරණය කරන ලද අභියාචනාධිකරණ ගොඩනැගිල්ල හෙට (18) පෙරවරුවේ ජනතා අයිතියට පත්කෙරෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්, අගවිනිසුරු ජනාධිපති නීතිඥ මූර්දු ප්‍රනාන්දු, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර හා ශ්‍රී ලංකාවේ චීන තානාපති QI Zhenhong යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන්.

ඒ අනුව කොළඹ, අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය නවීකරණ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කළ අභියාචනාධිකරණය සහ අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීම් ආරම්භ කළ පළමු උප ව්‍යාපෘතිය වන මහල් ගොඩනැගිල්ල මෙලෙස ජනතා අයිතියට පත්කෙරෙනු ඇති.

චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය ශක්තිමත් කරමින් අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය 1988 වසරේදී පරිත්‍යාගයක් ලෙස චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.

උපරිමාධිකරණ සංකීර්ණය පුළුල් ලෙස නවීකරණය කිරීමට සහ අදාළ තාක්ෂණික හා මුල්‍ය පහසුකම් ලබාදීමට මහජන චීන සමුහාණ්ඩුව, ශ්‍රි ලංකා රජය සමඟ 2016 වසරේ දී එකඟ වුණා.

එකී නවීකරණ කටයුතුවලට අදාළව ගිවිසුම් අත්සන් කිරීම 2021 දෙසැම්බර් 21 වන දින මහජන චීන සමුහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය, මෙරට අධිකරණ අමාත්‍යාංශය හා චීන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය අතර සිදුකෙරුණා.

එම ගිවිසුමට අනුව යුවාන් මිලියන 240 ක චීන රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ උපරිමාධිකරණ සංකීර්ණයේ නවීකරණ කටයුතු 2023 අප්‍රේල් මස 23 වන දින ආරම්භ වු අතර එහි ඇස්තමේන්තු සකස් කිරීමේදී ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල යුවාන් මිලියන 229 ක් වු බැවින්. පරිපූර්ණ ඇස්තමේන්තු මුල්‍ය ගිවිසුමකට යළිත් අත්සන් කර ඇති බව සඳහන්.

උපරිමාධිකරණ සංකීර්ණයෙහි මුලික පෙනුම ආරක්ෂා කරමින් ව්‍යුහය වෙනස් නොවන පරිදි නවීකරණ කටයුතු සිදු කිරීම මෙහි අභිලාෂයයි.

මෙම ව්‍යාපෘතියේ පළමු පියවරේදී නව පහසුකම්වලින් සමන්විත සත් පුද්ගල, පංච පුද්ගල, ත්‍රි පුද්ගල විනිශ්චයාසන සහිත නව අභියාචනාධිකරණ විනිශ්චය ශාලා 11 ක්, විනිසුරුතුමන්ලා සඳහා නිල කාමර 20 ක්, කාර්ය මණ්ඩල කාර්යාල පහසුකම්, ස්වයංක්‍රීය කැමරා පද්ධතියකින් යුත් නවීන පාලක මැදිරියක්, විනිසුරුතුමන්ලා වෙනුවෙන් වාහන අංගනයක්, නවීන උපාංග සහිත ආපන ශාලාවක්, විදුලි සෝපාන හා නඩු වාර්තා කාමර තුනකින් සමන්විතව අභියාචනාධිකරණ ස්ථාපිත කිරීම සඳහා ගොඩනැගිල්ල නවීකරණය කර තිබෙනවා.

අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීම් ආරම්භ කළ පළමු උප ව්‍යාපෘතිය වන “අධිකරණ පියස -1” ද මෙයට සමගාමීව ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

එහි දෙවන ව්‍යාපෘතිය ලෙසින් දිසා හා මහාධිකරණ සංකීර්ණයත්, තෙවන ව්‍යාපෘතිය ලෙස අධිකරණ අමාත්‍යාංශ සංකීර්ණය හා සිව්වන ව්‍යාපෘතිය ලෙස නිල නිවාස සංකීර්ණයද ඉදි කිරීමට නියමිතව තිබෙනවා.

අලුත්කඩේ පිහිටි බීසීසී සමාගමට අයත් අක්කර හයක භූමි ප්‍රමාණයක් අධිකරණ අමාත්‍යාංශය වෙත පවරා ගනිමින් අධිකරණ පියස ව්‍යාපෘතිය 2021 ජනවාරි මස 21 වන දින ආරම්භ කළා.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු සහ උපදේශක ආයතනය ලෙස ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය කටයුතු කරනු ලබනවා.

Share This