ජනාධිපති මාධ්‍ය අංශයේ උපකරණ අස්ථානගතවීම ගැන හිටපු අධ්‍යක්ෂ හඬ අවදි කරයි

ජනාධිපති මාධ්‍ය අංශයේ උපකරණ අස්ථානගතවීම ගැන හිටපු අධ්‍යක්ෂ හඬ අවදි කරයි

තම රාජකාරි කාලසීමාවය පෙර සහ රාජකාරි කාලසීමෙන් පසුව ජනාධිපති මාධ්‍ය අංශයේ කාර්යයන් හෝ තාක්ෂණික හෝ තාක්ෂණික නොවන උපකරණ සම්බන්ධයෙන් මා වෙත කිසිදු රාජකාරිමය බැඳියාවක් නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ධනුෂ්ක රාමනායක මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති මාධ්‍ය අංශයේ උපකරණ රාශියක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාවල ප්‍රතිචාර දක්වමින්.

උපුටාගැනීම…

“ජනාධිපති මාධ්‍ය අංශයේ උපකරණ රාශියක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය වාර්තා පළවෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් සිදුකරනු පිණිස මෙම සටහන ඔබ වෙත ඉදිරිපත් කරමි.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ බාරගැනීම වෙනුවෙන් මා වෙත ආරාධනාව ලැබුනේ 2022 වසරේ ජුලි 25 වන දිනයි. 26 වන දින ධුරයට අදාල පත්වීම බාරගත් අතර එදින සිටම රාජකාරී අරම්භ කළෙමි. එහිදී මා පළමුව සිදුකළේ ජනාධිපති මාධ්‍ය අංශය වෙත අනුයුක්ත සහ අනුමත නිළධාරීන් ප්‍රමාණය සහ ජනාධිපති මාධ්‍ය අංශයේ පවතින වට්ටෝරු භාණ්ඩ ලේඛනය විධිමත්ව පවතින්නෙද යන්න ගැන සොයාබැලීමත් ය. (මොකද රාජ්‍ය සේවයේ තනතුරු දරණ කාලසීමාවට වඩා ඉන් පසු කාලයේ එන ගැටලු ගැන පූර්ව අවබෝධයක් අත්දකීම් මතින්ම දන්නා නිසාවෙනි)

2022 අගෝස්තු මස වන විට සියලු ඒකකයන්ගෙන් හා නිලධාරීන්ගෙන් විධිමත්ව සැදුම්ලත් ජනාධිපති මාධ්‍ය අංශයේ පැවති වට්ටෝරු භාණ්ඩ ලේඛනය සහ ඒ වන විට ප්‍රධාන ඉංජිනේරු ගබඩාවේ සහ එක් එක් නිළධාරීන්ගේ නමට පැවති වට්ටෝරු භාණ්ඩ අතර යම් වෙනසක් ඇති බවට කරුණු අනාවරණය කරගැනීමට හැකි විය. ඒ පිළිබඳව එවකට  ජනාධිපති ලේකම්වරයා වූ සමන් ඒකනායක මහතා දැනුවත් කිරීමෙන් පසු ජනාධිපති මාධ්‍ය අංශයේ සමස්ථ භාණ්ඩ අභ්‍යන්තර විගණනයක් කිරීමට අවශ්‍ය නීත්‍යානුකූල අවසරය ලබාගත්තේය.

ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ තාක්ෂණික සහ ඉංජිනේරු දැනුම සහිත නිලධාරීන් 09 දෙනෙකුගේ දායකත්වය සහිතව මාධ්‍ය අංශයේ පරිපාලන නිලධාරී සහ ඉංජිනේරු අධ්‍යක්ෂ යටතේ විධිමත් ඇගයීමක් සිදුකෙරිණ.

මාස දෙකකට ආසන්න කාලයක් සිදුකළ තාක්ෂණික විගණනයෙන් පසුව ජනාධිපති මාධ්‍ය අංශයේ එවකට තිබූ භාණ්ඩ නියමාකාරයෙන් හදුනාගත් අතර, භාවිතයට ගත හැකි හා නොහැකි උපකරණද වෙන් වෙන් වශයෙන් හන්දුනාගන්නට හැකි විය. පසුව එම උපකරණ ලැයිස්තුව අපගේ වගකීමට යටත්ව කටයුතු කරන බවටත්, ඉන් පරිභාහිරව අස්ථානගත වී ඇති භාණ්ඩ පිළිබඳව සහ පූර්වයේ කළ විගණනයන්ට අදාළව හෙළිදරව් වී ඇති යම් ප්‍රශ්ණකාරී තැනක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනාධිපති කාර්‍යාලයේ අභ්‍යන්තර විගණන අංශයට භාර කෙරිණ. මේ පිළිඹදව මා විසින් අවස්ථානුකූලව සියලු අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විගණන හා කළමනාකරණ රැස්වීමේදී කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව 2022 ජුලි 26 වන දා සිට 2024 සැප්තැම්බර් 22 දින දක්වා ජනාධිපති මාධ්‍ය අංශයේ පැවති, එම කාලයේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලීන් යටතේ මිලදී ගත් භාණ්ඩ පිළිබඳ සියලු වාර්තා සේවය අවසන් කළ දින ඒ වන විට පත්ව සිටි වත්මන් ජනාධිපති ලේකම්වරයාටද පිටපත් සහිතව විධිමත්ව සහ විනිවිදභාවයකින් යුතුව බාරදුන් බව තහවුරු කරමි. ඒ සම්බන්ධ සියලු ලිපිලේඛන මා සතුව පවතී.

මා විසින් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් රාජකාරිමය වගකීම් දැරූ කාලසීමාවේ ජනාධිපති මාධ්‍ය අංශයේ වට්ටෝරුගත යම් භාණ්ඩයක් අස්ථානගතවී ඇති බවට හෝ අවභාවිතාවක් සිදුවී ඇති බවට තොරතුරු වේනම්, ඒ පිළිබඳව පැවැත්වෙන ඕනෑම විමර්ශනයකට මා වගකීමෙන් යුතුව පූර්ණ සහාය දක්වන බවට සහතික කරමි.

මගේ රාජකාරි කාලසීමාවට පෙර සහ රාජකාරි කාලසීමාවෙන් පසුව ජනාධිපති මාධ්‍ය අංශයේ කාර්‍යයන් හෝ තාක්ෂණික හෝ තාක්ෂණික නොවන උපකරණ සම්බන්ධයෙන් මා වෙත කිසිදු රාජකාරිමය බැඳියාවක් නොමැති බවද ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

ධනුෂ්ක රාමනායක

ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් (2022-24)

2025.01.09 දින”

උපුටාගැනීම අවසන්…

Share This