ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ කථානායක ජගත් වික්‍රමරත්න අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පසුගිය හයවැනිදා පවත්වා තිබෙවනවා.
එහිදී කොමසාරිස්වරයා විසින් කථානායකවරයා වෙත නව වසර සඳහා සුබ පැතුම් එක් කළ බව සඳහන්.
එහිදී දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතාවය නැවතත් තහවුරු කෙරුණු බවයි, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එමෙන්ම දෙරටේ අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා කථානායකවරයාට ආරාධනයක් ද සිදු කළ බව සඳහන්.
පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා පුහුණු සහ ධාරිතා වර්ධන වැඩසටහන් හරහා පාර්ලිමේන්තුවට සහාය දැක්වීමේ ඉන්දියාවේ සූදානම පිළිබඳව ද මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.
දහවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා කථානායකතුමාගේ මග පෙන්වීම අපේක්ෂා කරන බවයි, ඔහු කියාසිටියේ.
එමෙන්ම ප්‍රතිපත්ති සම්පාදනයේදී කාන්තාවන්ගේ භූමිකාව ඉහළ නැංවීම මෙන්ම අන්තර් සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙරටේ පාර්ලිමේන්තුවල කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කණ්ඩායම් අතර සමීප සබඳතා වර්ධනය කිරීමේ වැදගත්කම මහ කොමසාරිස්වරයා අවධාරණය කළා.
කථානායක ජගත් වික්‍රමරත්න මහතා, දෙරට අතර ඓතිහාසික සබඳතා සහ සංස්කෘතික බැඳීම් පිළිබිඹු කරමින්, විවිධ අංශ ඔස්සේ ඉන්දියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහයෝගයට සිය කෘතඥතාව පළ කළ බව සඳහන්.
ආර්ථික සංවර්ධනය, ඩිජිටල්කරණය සහ කලාපීය සහයෝගීතාව ඇතුළු බොහෝ කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය වැඩිදුරටත් දැක්වෙන්නේ.