කොළඹ–කටුනායක අධිවේගී මාර්ගයේ ආලෝකකරණ පද්ධතිය නවීකරණයට කැබිනට් අනුමැතිය
කෙරවලපිටිය අන්තර් හුවමාරුව ඇතුළුව කොළඹ–කටුනායක අධිවේගී මාර්ගයේ ආලෝකකරණ පද්ධතිය පුනරුත්ථාපනය කර නවීකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් විසින් සිදු කළ විනාශකාරී ක්‍රියා සහ සොරකම් හේතුවෙන් මෙම ආලෝකකරණ පද්ධතිය දැඩි ලෙස හානියට පත්ව ඇති අතර, එහි සියයට 85කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින බව වාර්තා වනවා.
මාර්ග ආරක්ෂාව සහ රියදුරන්ගේ පහසුව සැලකිල්ලට ගනිමින් ප්‍රථම අදියර යටතේ අධිවේගී මාර්ගයේ ප්‍රමුඛ ස්ථාන කිහිපයක් ආලෝකකරණය කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව පෑලියගොඩ, කෙරවලපිටිය, සීදුව සහ ජාඇල අන්තර් හුවමාරු ප්‍රදේශ මෙන්ම නව කැලණි පාලම සිට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ දක්වා සහ සීදුව සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා වූ නිදහස් මාර්ග කොටස්ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වෙනවා.
ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,098.5ක ඇස්තමේන්තුගත පිරිවැයක් දරා ආලෝකකරණ පද්ධතිය පුනරුත්ථාපනය කිරීම සහ නවීකරණය කිරීම සිදු කිරීමට නියමිතයි.
ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ තෝරාගනු ලබන කොන්ත්‍රාත්කරුවන් මඟින් පැකේජ දෙකක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
