‘ආරෝග්‍යා’ සෞඛ්‍ය හා සුවතා මධ්‍යස්ථාන 1,000ක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය
ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සහ ජනතාවගේ නොමිලේ සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘ආරෝග්‍යා’ සෞඛ්‍ය හා සුවතා මධ්‍යස්ථාන 1,000ක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ජනගහන විකාශනය සහ රෝග රටාවන්හි සිදුවන වෙනස්කම් හේතුවෙන් බෝ නොවන රෝග, බෝවන රෝග සහ අනතුරු ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු ඉහළ යාමත් සමඟ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව වැඩි වී ඇති බව රජය පෙන්වා දෙනවා.
ඒ අනුව, 2026 සිට 2028 දක්වා කාලසීමාව තුළ අදියර කිහිපයකින් මෙම නව සෞඛ්‍ය හා සුවතා මධ්‍යස්ථාන 1,000 ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමඟ පවත්නා ප්‍රාදේශීය රෝහල් සහ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක ඇතුළුව සමස්ත ප්‍රාථමික සත්කාර ආයතන සංඛ්‍යාව 2,000 දක්වා ඉහළ නැංවීම අපේක්ෂා කෙරෙනවා.
ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශ අනුව අවශ්‍ය මානව සම්පත් සහ භෞතික පහසුකම් සැපයීමට ද සැලසුම් කර තිබෙන බව සඳහන්.
කම්කරු අමාත්‍යවරයා සහ වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා එක්ව ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
