රත්නපුර ශික්ෂණ රෝහලේ නව ළමා දැඩි සත්කාර ඒකකයකට කැබිනට් අනුමැතිය

සබරගමුව පළාතේ ප්‍රධාන තෘතීයික සෞඛ්‍ය සේවා ආයතනයක් වන රත්නපුර ශික්ෂණ රෝහලේ නව ළමා දැඩි සත්කාර ඒකකයක් (PICU) ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම නව ඒකකය රෝහලේ ළමා වාට්ටු සංකීර්ණයේ සිව්වන මහලේ ස්ථාපිත කිරීමට නියමිත අතර, එය සබරගමුව පළාතේ දරුවන් සඳහා විශේෂිත හා උසස් සෞඛ්‍ය සේවාවන් සැපයීමේ වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.

රත්නපුර ශික්ෂණ රෝහල සබරගමුව විශ්වවිද්‍යාලයට අනුබද්ධව ක්‍රියාත්මක වන අතර, සෞඛ්‍ය සේවා සැපයීමට අමතරව වෛද්‍ය අධ්‍යාපනය සහ පර්යේෂණ ක්ෂේත්‍රයේද ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා.

2016 වසරේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ළමා වාට්ටු සංකීර්ණය සඳහා පස් මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කර තිබූ අතර, දේශීය පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය දායකත්වයෙන් මේ වන විට එහි තෙවන මහල දක්වා ඉදිකිරීම් අවසන් කර තිබෙනවා.

නව ළමා දැඩි සත්කාර ඒකකය සඳහා අවශ්‍ය සිව්වන මහල ඉදිකිරීම වෙනුවෙන්ද දේශීය පරිත්‍යාගශීලීන් නැවත මූල්‍ය සහාය ලබාදීමට එකඟ වී ඇති අතර, ඒ සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශයද ලැබී තිබෙනවා.

ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රුපියල් මිලියන 64.15ක් වන අතර, එම මුදල සම්පූර්ණයෙන්ම දේශීය පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ලබාදීමට නියමිතයි.

ඒ අනුව, නව ළමා දැඩි සත්කාර ඒකකය ඉදිකිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ අදාළ පරිත්‍යාගශීලීන් අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Share This