ලලිත්–කූගන් අතුරුදන් නඩුවේ සාක්ෂි සඳහා ගෝඨාභය රාජපක්ෂට ඔන්ලයින් ඉදිරිපත් වීමට අවසර

ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔන්ලයින් ක්‍රමයට කැඳවීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

මෙම නඩුව අද (02) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, ඔහුගේ ආරක්ෂාව සම්බන්ධ කරුණු සලකා බලා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

2011 දෙසැම්බර් 09 වනදා යාපනය අච්චුවේලි ප්‍රදේශයේදී ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් අතුරුදන් වීම සම්බන්ධයෙන් මෙම නඩුව පවතිනවා.

එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය අධිකරණයට පැමිණීම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පවසමින් මීට පෙර අභියාචනාධිකරණයට පෙත්සමක්ද ගොනු කර තිබුණා. ඒ අනුව ඔහුට යාපනය අධිකරණයට පැමිණීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණා.

පසුව ඔහු ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ව්‍යවස්ථානුකූල මුක්තිය හේතුවෙන් නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, 2022දී ධුරයෙන් ඉවත් වීමෙන් පසු නඩුව නැවත ක්‍රියාත්මක කිරීමට නෛතික පසුබිමක් ඇතිව තිබෙනවා.

අද අධිකරණය දැනුම් දී ඇත්තේ ඔහු සැකකරුවෙකු නොව සාක්ෂිකරුවෙකු වන බැවින් ආරක්ෂක කරුණු සැලකිල්ලට ගනිමින් ඔන්ලයින් ක්‍රමයට සාක්ෂි ලබා දීමට අවසර ලබාදෙන බවයි.

ඒ අනුව ඔන්ලයින් සාක්ෂි ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධ තීරණයක් ගැනීම සඳහා නඩුව ජුනි 19 වැනිදා නැවත කැඳවීමට නියමිතයි.

Share This