මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට නව පස් මහල් මාතෘ හා ශල්‍ය වාට්ටු සංකීර්ණයක්
ඌව වෙල්ලස්ස ජනතාවට වඩාත් ගුණාත්මක හා උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ ඉදිකරන ලද නව පස් මහල් මාතෘ හා ශල්‍ය වාට්ටු සංකීර්ණය ලබන 04 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත මෙම සංකීර්ණය සඳහා මේ වන විට රුපියල් මිලියන 857කට අධික මුදලක් වැය කර තිබෙනවා.
මෙහි බිම් මහල සහ පළමු මහල මාතෘ වාට්ටු සඳහා වෙන් කර ඇති අතර, දෙවන හා තෙවන මහල් කාන්තා ශල්‍ය වාට්ටු ලෙස ස්ථාපිත කර තිබෙනවා. එමෙන්ම සිව්වන මහලේ අති නවීන වෛද්‍ය උපකරණවලින් සමන්විත ශල්‍යාගාර 4ක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2,900කට අධික මුදලක් වැය කිරීමට අපේක්ෂා කෙරෙන අතර, එය මොණරාගල දිස්ත්‍රික්කයේ ලක්ෂ පහකට අධික ජනතාවට සෘජුව ප්‍රතිලාභ ගෙන දෙන ව්‍යාපෘතියක් ලෙස සැලකෙනවා.
1876 වසරේ මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ කළ මොණරාගල රෝහල, 1990දී මූලික රෝහලක් ලෙසත් 2005දී දිස්ත්‍රික් මහ රෝහලක් ලෙසත් උසස් කර තිබුණා. කෙසේ වෙතත්, ප්‍රමාණවත් ගොඩනැගිලි පහසුකම් නොමැති වීම හේතුවෙන් රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දිගු කාලයක් අපහසුතා රැසකට මුහුණ දීමට සිදුව තිබුණා.
2019 වසරේ ආරම්භ කර අතරමග නවතා දමා තිබූ මෙම ගොඩනැගිලි ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා උපදෙස් ලබා දීමෙන් පසු එය සම්පූර්ණ කර තිබෙනවා.
ඒ අනුව, නුදුරු අනාගතයේදී නවීන ශල්‍යාගාර 4ක්ද ස්ථාපිත කිරීමත් සමඟ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සෞඛ්‍ය සේවා හැකියාවන් තවදුරටත් ඉහළ යනු ඇති බව අපේක්ෂා කෙරෙනවා.
