ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ජයග්‍රාහකයින් දිවයිනට

චීනයේ හොංකොංහි පැවති 22 වැනි ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (02) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ 8 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා.

තරුෂි අභිෂේකා මීටර් 1,500 ඉසව්වෙන් රන් පදක්කමක් සහ මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර, රන්සිනි පෙරේරා මීටර් 200 ඉසව්වෙන් වසර 32කට පසු ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන්නා.

එසේම තරුෂ මෙන්ඩිස් උස පැනීමෙන් සහ නෙත්සර දිනෙත් මීටර් 800 ධාවන ඉසව්වෙන් රිදී පදක්කම් දිනා ගත්තා.

සදෙව් රාජකරුණා (මීටර් 200), මිහින්සා අබේරත්න (කාන්තා උස පැනීම), තරුෂි අභිෂේකා (මීටර් 800) සහ මීටර් 400 × 4 මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.

ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල්-885 ගුවන් යානය අද උදෑසන 6.10ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වූ අතර, ඔවුන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ නිලධාරීන්, පාසල් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමාපියන් විශාල පිරිසක් ගුවන් තොටුපොළට පැමිණ සිටියා.

Share This