මීගොඩ දන්සල් අනතුරට මිනීමැරුම් චෝදනා?

මීගොඩ ප්රදේශයේ රොටි දන්සලකදී කැබ් රථයක් ජනතාව අතරට කඩා වැදී පුද්ගලයන් හය දෙනෙකු මිය යාම සහ තවත් තිදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්, සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමේ හැකියාව පවතින බව මහාචාර්ය නීතිඥ ප්රතිභා මහානාම හේවා මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, යාන්ගල්මෝදර බස් අනතුරේදී සිදුකළ ආකාරයටම නීතිපතිවරයාට මෙම නඩුව සම්බන්ධයෙන්ද එවැනි පියවරක් ගැනීමට හැකි බවයි. කෙසේ වෙතත්, එම ක්රියාමාර්ග ගත හැක්කේ පොලිස් මූලික විමර්ශන සහ මහේස්ත්රාත් අධිකරණ විමර්ශන අවසන් වීමෙන් පසුව බවද ඔහු පැවසුවා.
අනතුර සිදුවන බව දැක දැකත් වාහනය නොසැලකිලිමත් ලෙස මෙහෙයවීම හේතුවෙන් මෙම මරණ චේතනාන්විතව සිදු වූ බවට පෙනී යන බව සඳහන් කළ මහාචාර්යවරයා, යාන්ගල්මෝදර අනතුරටත් වඩා මෙම සිද්ධිය බරපතළ තත්ත්වයක් බව ප්රකාශ කළා.
එමෙන්ම, මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා යථාර්ථ වගකීම (Strict Liability) සම්බන්ධ නීති සංශෝධන ගෙන ඒම පිළිබඳවද අවධානය යොමු කළ හැකි බව ඔහු පෙන්වා දුන්නා.
මහානාම හේවා මහතා සිහිපත් කළේ, 2005 වසරේ සිදුවූ යාන්ගල්මෝදර බස් අනතුර සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2013 වසරේදී කුරුණෑගල මහාධිකරණය විසින් රියදුරු සහ කොන්දොස්තරවරයාට මරණීය දණ්ඩනය නියම කළ බවයි.
