පියාසර කරන ගුවන් යානයක පියාපත් මත සිටගෙන ගමන් කළ වයස්ගතම පුද්ගලයා ලෙස ලෝක වාර්තාවක් තැබූ හැරී

98 හැවිරිදි දෙවන ලෝක යුද්ධයේ හිටපු සෙබළෙකු වන හැරී හීස්මන්, ලෝක වාර්තාවක් පිහිටුවමින් තමන්ගේ ජීවිත කාලය පුරා තිබූ සිහිනයක් සැබෑ කරගෙන තිබෙනවා.

ගිනස් ලෝක වාර්තා අනුව, ඔහු දැන් ලොව වයස්ගතම පිරිමි “වින්ග් වෝකර්” ලෙස නම් කර තිබෙනවා. ඒ කියන්නේ, පියාසර කරන ගුවන් යානයක පියාපත් මත සිටගෙන ගමන් කළ වයස්ගතම පුද්ගලයා ලෙසයි.

බ්‍රිතාන්‍ය ගම්බද ප්‍රදේශයට ඉහළින් පියාසර කළ ගුවන් යානයක මත සිටගෙන ඔහු මෙම වාර්තාව පිහිටුවා තිබුණේ මැයි 23 වනදායි.

හැරී හීස්මන් මේ අත්දැකීම හැඳින්වූයේ “මගේ ජීවිතයේ වඩාත්ම අමතක නොවන අත්දැකීම” ලෙසයි.

ඔහු මේ අභියෝගය භාරගෙන තිබුණේ තම බිරිඳ සහ පුතා සිහි කිරීම සඳහා ලෙනොක්ස් ළමා පිළිකා අරමුදලට මුදල් රැස් කිරීමේ අරමුණෙන්. මේ වනවිට ඔහු පවුම් 8,000කට වැඩි මුදලක් රැස් කර තිබෙනවා. එය ඔහු මුලින් තැබූ පවුම් 5,000ක ඉලක්කයත් ඉක්මවා ගොස් තිබෙනවා.

හැරී කියන්නේ, කුඩා කාලයේ ඇමරිකානු පියාඹන සර්කස් නරඹන වෙලාවේ සිටම පියාපත් මත ගමන් කරන අය දැක මේ ගැන දැඩි ආශාවක් ඇති වූ බවයි.

ඒ සිහිනය සැබෑ කරගන්න ඔහුට උදව් කර තිබුණේ ඔහු ජීවත් වන රැකවරණ නිවාසයේ කළමනාකාරිනියක් විසින් සකස් කළ “බකට් ලැයිස්තුවක්” හරහායි.

මෙම අභියෝගයට සූදානම් වීමට හැරී මාස 11ක් පුරා ශාරීරික සහ මානසික පුහුණුවක් ලබාගෙන තිබෙනවා. ඔහුගේ භෞත චිකිත්සකවරයා කියා සිටියේ, පුහුණුව ආරම්භ කරන අවස්ථාවේදී හැරීට තනිවම පුටුවකින් නැගිටීමටවත් අපහසු වූ බවයි.

කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් ඔහුට සහයෝගය ලබාදුන් බවත්, ඒ සහයෝගය නිසාම මේ අභියෝගය සාර්ථක කරගැනීමට හැකි වූ බවත් සඳහන් වෙනවා.

ලෙනොක්ස් ළමා පිළිකා අරමුදලේ නිලධාරීන් හැරීව “සැබෑ ජාතික වස්තුවක්” ලෙස හඳුන්වා දී තිබෙනවා.

හැරී අවසානයේ කියා සිටියේ, “සිහිනයක් පසුපස යාමට කවදාවත් ප්‍රමාද නැහැ” කියන පණිවිඩය තමන්ගේ ජීවිතයෙන්ම පෙන්වන්න කැමති බවයි.

Share This