මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික් අමෙරිකාවෙන් ඉල්ලයි?

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුන්වන ශිරාන් බාසික් ගැන මේ වන විට ජාත්‍යන්තර අවධානයක් යොමු වෙලා.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ, ඔහු අයි.එස්.අයි.එස්. සංවිධානය සහ ඉරානයේ මාෆියා කල්ලි මෙන්ම විශාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟද සම්බන්ධතා පවත්වන බවට ලැබී ඇති තොරතුරු නිසා, ඔහුව ඇමරිකානු ආරක්ෂක අංශ භාරයට ගැනීමට ඉඩ ඇති බව සදහන්.

ඩුබායි පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉරානයට සහාය දක්වමින් සමාජ මාධ්‍ය හරහා තොරතුරු සැපයීම සහ ඩුබායි රාජ්‍යයට එල්ල වූ ප්‍රහාර වීඩියෝගත කර සමාජ මාධ්‍යයට මුදා හැරීමේ චෝදනා නිසාය.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ පුවත්පත කළ විමසීමකදී පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කර ඇත්තේ, ශිරාන් බාසික් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි. එහෙත් මේ වන තෙක් ඔහු ඩුබායි පොලිසිය භාරයේ සිටින බවට නීත්‍යානුකූලව දැනුම් දීමක් ලැබී නොමැති බවද ඔහු පවසයි.

ශිරාන් බාසික් ඩුබායි රාජ්‍යයේ අතිසුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින්, කුෂ්, කොකේන්, හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණ වශයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අලෙවි කරමින් සිට ඇති බවද සඳහන්.

ඉරානයේ අන්තවාදී කණ්ඩායම්, මාෆියා කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ඔහු සමීප සබඳතා පවත්වා ඇති බවත්, දිගු කාලයක සිට මේ ජාවාරම්වල නිරත වී ඇති බවත් වාර්තා වෙනවා.

එමෙන්ම ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුවක් ලබා ගැනීමටද ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරමින් ඉන්නවා.

කෙසේ වෙතත්, මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා පිළිබඳව ඇමරිකානු ආරක්ෂක අංශ දැඩි අවධානයක් යොමු කරලා.

Share This