දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ඌමා ඇළ මහා වාරි ව්‍යාපෘතියේ ස්ථීර ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි හානියට පත් වුණ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ප්‍රදේශයේ තියෙන ඌමා ඇළ මහා වාරි ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ  (27) දින ආරම්භ කළා.

මේ වැඩේ ආරම්භ කරලා තියෙන්නේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අවස්ථාව පැවැත්වුණේ ඌමා ඇළ පේරවැල්ල අමුණ අසලදී.

‘දිට්වා’ සුළි කුණාටුව නිසා මේ ව්‍යාපෘතියේ කොටස් කිහිපයක් කැඩිලා විනාශ වෙලා තිබුණා. ඒත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ගොවි ජනතාවයි, හමුදා නිලධාරීන්ගේ සහයෝගයත් එක්ක ඉක්මනින්ම තාවකාලිකව අලුත්වැඩියා කරලා තිබුණා.

ඒ තාවකාලික වැඩ ටික හොඳටම කරලා ඉවර වුණාට පස්සේ, 2025 දෙසැම්බර් 12 වැනිදා ඉඳන් නැවත වතුර නිකුත් කරන්නත් කටයුතු කරලා තිබුණා. ගොවීන්ගේ ගොවිතැන් වැඩ නතර නොවෙන්න විශාල මහන්සියකින් මේ වැඩ කරලා තියෙනවා.

දැන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 228.6 ක් වියදම් කරලා මේ ව්‍යාපෘතිය ස්ථිරවම අලුත්වැඩියා කරන්න පටන් අරගෙන තියෙනවා. මේකෙන් ප්‍රදේශයේ කෘෂිකාර්මික වැඩකටයුතු වලට දිගුකාලීන සහනයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

මේ අවස්ථාවට මහා සංඝරත්නයත් සහභාගි වුණා. අමාත්‍යවරයා එක්ක බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් බලගල්ල සහ රවින්ද්‍ර බණ්ඩාර මහත්වරුත්, ඌව පරණගම ප්‍රාදේශීය සභා සභාපතිතුමාත්, ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝත්, වාරිමාර්ග නිලධාරීන් සහ ගොවි මහත්වරුත් මේකට එක්වෙලා හිටියා.

Share This