නව ඉබෝලා වෛරසයට රුසියාවෙන් එන්නතක්

කොංගෝ සහ උගන්ඩා ප්‍රදේශවල මේ වන විට හිස ඔසවමින් පවතින බන්ඩිබුගියෝ (Bundibugyo) ඉබෝලා වෛරස් ප්‍රභේදය හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කනස්සල්ලට පත්ව සිටියි.

මේ අතර, මෙම නව වෛරස් ප්‍රභේදයට එරෙහිව තම විද්‍යාඥයන් විසින් එන්නතක් නිපදවා ඇති බව රුසියාව නිවේදනය කර තිබේ.

රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ පවසන්නේ, මේ වන විට කිසිදු අනුමත එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති මෙම දුර්ලභ ‘බන්ඩිබුගියෝ’ ප්‍රභේදයට එරෙහිව ආරක්ෂාව ලබාදීමට මෙම නව එන්නතට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේ අතර, මධ්‍යම අප්‍රිකා කලාපය පුරා වෛරසය වේගයෙන් පැතිර යාමේ අවදානමක් ඇති බව සඳහන් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙය “ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක්” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

එම ප්‍රකාශයට පසුවම රුසියාව මෙම එන්නත පිළිබඳ නිවේදනය නිකුත් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු අනුව, මේ වන විටත් මෙම වෛරසය හේතුවෙන් ආසාදිතයන් සහ මරණ වාර්තා වී ඇති අතර, තවත් සැකකරන ආසාදිතයන් සිය ගණනක් පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

කෙසේ වෙතත්, සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම එන්නත සැබවින්ම භාවිතයට සුදුසුද, ආරක්ෂිතද සහ ඵලදායීද යන්න තහවුරු කිරීමට තවදුරටත් විස්තීර්ණ සායනික පරීක්ෂණ, විද්‍යාත්මක සමාලෝචන සහ නියාමන ආයතනවල අනුමැතිය අවශ්‍ය බවයි.

Share This