පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කළ 275 කට සහතිකපත් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකාව මේ වනවිට ආර්ථික ස්ථාවරතාවයක් කරා ගමන් කරමින් සිටින අතර, එය පහසු ක්‍රියාවලියක් නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ලෝකයේ පවතින යුධමය සහ ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද ජනතාව මත බර නොපැටවී රට ස්ථාවර තත්ත්වයකට ගෙන ඒම සඳහා කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කළ නිලධාරිනියන් 275 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයකදීයි. මෙම උත්සවය කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

මෙම පුහුණු වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු සහ පර්යේෂණ අංශය විසින් කළුතර ජාතික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය සමඟ එක්ව දිවයින පුරා පිහිටි පුහුණු මධ්‍යස්ථාන 11කදී ක්‍රියාත්මක කර තිබුණා.

අයදුම්පත් කැඳවා ජ්‍යෙෂ්ඨත්වය සහ සම්මුඛ පරීක්ෂණ මත මධ්‍යම රජයේ සහ පළාත් සභා සේවයේ නිලධාරීන් 275 දෙනෙකු මෙම පුහුණුව සඳහා තෝරාගෙන තිබුණා.

මෙම නිලධාරිනියන්ගේ වගකීම් අතර මාතෘ හා ළමා සෞඛ්‍යය සම්බන්ධ අධ්‍යාපනය ලබාදීම, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ රාජකාරී අධීක්ෂණය සහ සිසු පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට ක්ෂේත්‍ර පුහුණුව ලබාදීම ඇතුළත් වෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවර ලෝක සෞඛ්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවට විශේෂ ඇගයීමක් හිමිවූ බවත්, එහි ගෞරවයෙන් විශාල කොටසක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ කැපවීම හේතුවෙන් ලැබුණු බවත්ය.

තරුණ කාන්තාවන් සහ මව්වරුන් සමඟ සමීපව කටයුතු කරමින්, අවශ්‍ය අවස්ථාවලදී මවක්, මිතුරියක් හෝ සහෝදරියක් ලෙස ක්‍රියා කරන මෙම නිලධාරිනියන්ගේ සේවය ඉතා අගය කරන බවද ඔහු පැවසුවා.

 

Share This