ග්‍රීන්ලන්තයට ඇහැ දාපු ට්‍රම්ප්ට ජනතා විරෝධය

අයිස් කඳු වලින් වැසුණු, ලෝකයේ සීතලම තැන් අතරින් එකක් වන Greenland දූපත මේ දවස්වල උණුසුම් දේශපාලන අර්බුදයකට මැදිවෙලා.

Nuuk කියන අගනුවරේ වීදි පුරා, සිය ගණනක් ජනතාව එක්වෙලා තිබුණේ අලුතින් විවෘත කළ ඇමරිකානු කොන්සල් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වන්න. ඔවුන්ගේ කෝපය යොමුවෙලා තිබුණේ ඇමරිකානු ජනාධිපති Donald Trump වෙතයි.

Trump දිගින් දිගටම Greenland දූපතට වැඩි බලපෑමක් ලබාගැනීමට උත්සාහ කරන බවට පළවන ප්‍රකාශ, Greenland ජනතාවට පෙනුනේ තම රටේ අයිතියට තර්ජනයක් වගේ.

විරෝධතාව සංවිධානය කළ Aqqalukkuluk Fontain කියන්නේ,
“අපේ ආණ්ඩුව ට්‍රම්ප්ටත් ඔහුගේ පාලනයටත් පැහැදිලිවම කියලා තියෙනවා. Greenland විකිණීමට නෑ” කියලා.

මේ විරෝධතාව තවත් උණුසුම් වුණේ, Trumpගේ සමීප මිත්‍රයෙක් සහ Louisiana ප්‍රාන්ත ආණ්ඩුකාරවරයෙක් වන Jeff Landry Greenland සංචාරයකට පැමිණීමත් සමඟයි. විශේෂත්වය වුණේ, ඔහු නිල ආරාධනයක් නොමැතිවම එහි පැමිණ තිබීම.

Landryගේ සංචාරයත්, අලුත් ඇමරිකානු කොන්සල් කාර්යාලය විවෘත කිරීමත්, දෙරට අතර දේශපාලන ආතතිය අඩු කිරීමට ගත් පියවරක් ලෙස පැවසුණත්, Nuuk ජනතාවට ඒක පෙනුනේ බලය පෙන්වන උත්සාහයක් ලෙසයි.

“Greenland belongs to Greenlanders” කියමින් විරෝධතාකරුවන් නගර මධ්‍යයේ ගමන් කළා. ඊට පස්සේ ඔවුන් නිහඬවම කොන්සල් කාර්යාලය දෙසට පිටුපාගෙන හිටගත්තා. ඒ නිහඬතාවයම දැඩි විරෝධයක සංකේතයක් වුණා.

Fontain BBCයට කියලා තිබුණේ,
“අපේ පණිවිඩය ඇමරිකානු ජනතාවටත් ලෝකයටත් එකයි. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක ‘නැහැ’ කියන එකේ අර්ථය ‘නැහැ’ම තමයි” කියලා.

විරෝධතාකරුවන් අතර හිටපු Inge Bisgaard කියන්නේ, Landryගේ සංචාරය Greenland ජනතාවට ගරු නොකිරීමක් ලෙස දැනුණු බවයි.

“මේක හරි නෑ කියලා ලෝකයට පෙන්නන්න ඕන. ඇමරිකාවෙන් අපට බයක් දැනෙනවා,” ඇය කියලා තිබුණා.

තවත් තරුණ විරෝධතාකාරියක් වූ 25 හැවිරිදි Parnuna Olsen අහලා තිබුණේ,
“ඇයි ඇමරිකාවට Greenland එකේ කොන්සල් කාර්යාලයක් ඕනේ?” කියලා.

Nuuk නගර මධ්‍යයේ ඉදිකළ මේ අලුත් 3000 වර්ග මීටර් විශාල ඇමරිකානු කොන්සල් කාර්යාලය, කලින් තිබුණු කුඩා ලී ගොඩනැගිල්ල වෙනුවට දැවැන්ත උස ගොඩනැගිල්ලක් ලෙස ඉදිවී තිබුණා.

දේශීය ජනතාව අතර මේ ගොඩනැගිල්ලට “Trump Towers” කියන නමත් පටබැඳිලා තිබුණා. සමහරුන්ට ඒක දේශපාලන බලපෑමේ සංකේතයක් වගේ දැනුණා.

කොන්සල් කාර්යාලය විවෘත කරන අවස්ථාවේ ඇමරිකානු ජාතික ගීය ukulele වාදනයකින් ඉදිරිපත් කළ අතර, ඩෙන්මාර්කයේ ඇමරිකානු තානාපති Kenneth Howery, Greenland සමඟ “තවත් ගැඹුරු හවුල්කාරිත්වයක්” බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළා.

ඒත් Nuuk වීදිවලින් ඇහුණේ වෙනස් හඬක්.
“Greenland අපේ.”

Share This