2026 ජාතික පිච්ච මල් පූජෝත්සවය පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවැත්වෙන 2026 ජාතික පිච්ච මල් පූජෝත්සවය ගැන මූලික සාකච්ඡාවක් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

36 වැනි වරට සංවිධානය කරන මේ ජාතික පිච්ච මල් පූජාව ජුනි 25 සහ 26 දෙදින තුළ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීම යටතේ, සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සහයෝගයෙන් මෙවර උත්සවයේ කටයුතු සංවිධානය කරන බවයි සඳහන් වෙන්නේ.

මෙවර පිච්ච මල් පූජාව උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට රජය ලබාදෙන අනුග්‍රහය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට ප්‍රශංසා කළ යුතු බව ශාන්ති පදනමේ සභාපති සහ නැගෙනහිර තමන්කඩු දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොටපොල අමරකිත්ති නායක හිමියන් මෙහිදී පැවසුවා.

ඒ වගේම ජාතික පිච්ච මල් පූජාවට අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම ගැනත් මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබුණා.

මේ අවස්ථාවට ශාන්ති පදනමේ පැවිදි සංවිධායක පූජ්‍ය හල්මිල්ලෑවේ සද්ධාතිස්ස නාහිමි, පූජ්‍ය දොරවක සුසීම හිමි, පූජ්‍ය මධුරදේව හිමි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා, ශාන්ති පදනමේ ප්‍රධාන සංවිධායක අශෝක පෙරේරා මහතා, ලේකම් සඳුන් ජෙරාඩ් ද සොයිසා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Share This