ඉන්දියානු රුපියල ඉතිහාසයේ දරුණුම පල්ලම් බැසීම වාර්තා කරයි

මැදපෙරදිග මේ වනවිට ඇති වී තිබෙන යුද උණුසුම ලෝක ආර්ථිකයටම දැඩි බලපෑමක් එල්ල කරමින් පවතිනවා. විශේෂයෙන් ඉරානය ආසන්නයේ පිහිටි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ ලෝකයට බොරතෙල් ප්‍රවාහනය කිරීමේ කටයුතු අඩාල වී ඇති අතර, ඒ හේතුවෙන් බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා.
ලෝකයේ රටවල් බොහෝමයක් තෙල් ආනයනය මත රඳා පවතින නිසා මෙම තත්ත්වය ඔවුන්ගේ ආර්ථිකයටත් සෘජුවම බලපානවා. ඒ අතරින් ඉන්දියාවටත් මේ බලපෑම දැඩි ලෙස දැනෙමින් තිබෙන බවයි වාර්තා වෙන්නේ.
ඉරාන යුද ගැටුම් ආරම්භ වීමට පෙර, පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකානු ඩොලරයක අගය ඉන්දීය රුපියල් 91ක් පමණ වූවත්, මේ වනවිට එය රුපියල් 96යි ශත 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එයින් අදහස් වෙන්නේ ඉන්දීය රුපියලේ වටිනාකම පහළ ගොස් ඇති බවයි.
සරලව කියනවා නම්, කලින් ඩොලර් එකක් ගන්න අඩු රුපියල් ප්‍රමාණයක් වැය වූවත්, දැන් ඒ සඳහා වැඩි රුපියල් ප්‍රමාණයක් ගෙවීමට සිදුවෙනවා.
මෙම තත්ත්වය නිසා ඉන්දියාවේ ඉන්ධන මිල, ආනයන වියදම් සහ ජීවන වියදම තවත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
මෙම විනිමය අර්බුදය පාලනය කරගැනීමට ඉන්දීය රිසව් බැංකුව වෙළෙඳපොළට ඩොලර් නිකුත් කරමින් මැදිහත් වන අතර, රටේ විදේශ විනිමය ඉතිරි කරගැනීම සඳහා රන්, රිදී වැනි අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ ආනයනයටද තාවකාලික සීමා පැනවීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.
