අග්‍රාමාත්‍යතුමිය සහ එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඉවෙට් කූපර් අතර හමුවක්

පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් කවුන්සිලයේ 43 වැනි පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වෙන්න අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මේ දවස්වල එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර නිල සංචාරයක නිරත වෙලා ඉන්නවා.

ඒ අතරතුර මැයි 20 දා ඇය එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඉවෙට් කූපර් මහත්මිය එක්ක ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබුණා.

මෙහිදී ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවුණු බලපෑම්වලින් පස්සේ, නැවත ගොඩනැගීම සහ ප්‍රතිසාධන වැඩවලට එක්සත් රාජධානිය ලබාදුන් සහය ගැන අග්‍රාමාත්‍යවරිය ස්තූතිය පළ කළා.

ඒ වගේම ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර වෙළඳ හා අපනයන කටයුතු වැඩිදියුණු කිරීමට ලබාදෙන සහය ගැනත් ඇය අගය කරලා තියෙනවා.

සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මෑත ආර්ථික වර්ධනය, රජයේ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා, මානව හිමිකම් සහ සංහිඳියාව ශක්තිමත් කිරීම වෙනුවෙන් රජය ගන්නා වැඩපිළිවෙළ ගැනත් අග්‍රාමාත්‍යවරිය එක්සත් රාජධානියේ නියෝජිතයින් දැනුවත් කර තිබුණා.

ගෝලීය භූ-දේශපාලනික තත්ත්වය, බලශක්ති අභියෝග, කලාපීය සන්නිවේදනය සහ දිගුකාලීන බලශක්ති සුරක්ෂිතතාව වගේ කරුණු ගැනත් දෙපාර්ශවය අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

එමෙන්ම සංක්‍රමණ පද්ධතිවල සාධාරණත්වය සහ පැහැදිලිභාවය රැකගන්නා අතරම, අධ්‍යයන හුවමාරු වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ගැනත් අවධානය යොමු වුණා.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර වැදගත් ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව තවත් ශක්තිමත් කරගැනීම ගැනත් මෙහිදී සාකච්ඡා කෙරුණා.

මෙම අවස්ථාවට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් නිමල් සේනාධීර මහතා ඇතුළු ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.

Share This