රුමේෂ්ගේ ඩයමන්ඩ් ලීග් සිහිනයට වීසා බාධාවක්?
ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ශ්‍රී ලාංකික ක්‍රීඩක රුමේෂ් තරංගට, එළැඹෙන 31 වැනිදා මොරොක්කෝවේ රබාත් නගරයේ පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් තරගාවලිය සඳහා සහභාගි වීමට වීසා ලබා ගැනීමේ ගැටලුවකට මුහුණ දීමට සිදුව තිබෙනවා.
මේ දක්වාත් වීසා බලපත්‍රය නොලැබීම හේතුවෙන් ඔහුගේ තරග සහභාගීත්වය අවදානමකට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
යම් හෙයකින් මෙම තරගාවලියද රුමේෂ්ට මඟ හැරුණහොත්, ලබන සැප්තැම්බර් මාසයේ හංගේරියාවේ පැවැත්වීමට නියමිත “World Ultimate Championship” තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ ඔහුගේ බලාපොරොත්තුවටද බලපෑමක් එල්ල විය හැකි බව සඳහන්.
මේ අතර සමාජ මාධ්‍ය තුළද මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. බොහෝ දෙනා පෙන්වා දෙන්නේ, වෙනත් රටවල ක්‍රීඩකයන් පුහුණුවීම්වල නිරත වෙද්දී, රුමේෂ් සහ ඔහුගේ පුහුණුකරු ටෝනි මහතා තවමත් තානාපති කාර්යාල ගණන් වටේ යමින් වීසා ගැටලු විසඳීමට උත්සාහ කරන බවයි.
ඒ හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා මේ සඳහා කඩිනම් සහ ස්ථිර විසඳුමක් ලබාදිය යුතු බවටද ඉල්ලීම් එල්ල වෙමින් පවතිනවා.
