ඉරාන තෙල් සම්බාධක තාවකාලිකව ඉවතට! සාකච්ඡාවලට පෙර සාදනීය පියවරක්

අමෙරිකාව සහ ඉරානය අතර මේ දිනවල වොෂින්ටනයේදී නව සාකච්ඡා රාමුවක් සකස් වෙමින් පවතින අතර, ඒකේ කොටසක් ලෙස ඉරානයේ තෙල් ක්ෂේත්‍රයට පනවා තිබූ සම්බාධක තාවකාලිකව ලිහිල් කරන්න අමෙරිකාව එකඟ වෙලා ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.

මෙම යෝජනාව පෙර යෝජනාවලට වඩා වෙනස් වෙන්නේ, අවසන් ගිවිසුමකට පස්සේ පමණක් සම්බාධක ඉවත් කරනවා වෙනුවට, සාකච්ඡා අතරතුරදීම සමහර සම්බාධක ලිහිල් කිරීමට මෙවර ඉඩ ලබාදී තිබීමයි.

කෙසේ වෙතත්, දිගුකාලීන ගිවිසුමකට යන්න නම් අමෙරිකාව පනවා ඇති සියලුම සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බව ඉරානය දිගින් දිගටම අවධාරණය කරනවා.

ඉරාන පාර්ශවය කියන්නේ, අනාගත ගිවිසුමක මූලික සහතිකයක් ලෙස මෙම සම්බාධක සහනය ලබාදිය යුතු බවයි. හැබැයි අමෙරිකාව මේ වනවිට යෝජනා කරලා තියෙන්නේ, අවසන් එකඟතාවයක් ලැබෙන තෙක් පමණක් බලපැවැත්වෙන තාවකාලික සහන ක්‍රමයක් කියලා සඳහන් වෙනවා.

මේ අතර, මැදපෙරදිග පවතින දරුණු ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය නව සංශෝධිත යෝජනාවක් පකිස්තානය හරහා අමෙරිකාවට යවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගියදා ඉස්ලාමාබාද් නුවර පැවැති සාම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වුණත්, අමෙරිකාවෙන් ලැබුණු නව යෝජනාවලට තමන් ප්‍රතිචාර දක්වා ඇති බව ඉරානය කියලා තියෙනවා.

පසුගිය පෙබරවාරි අගදී අමෙරිකානු සහ ඉශ්‍රායල ප්‍රහාර වලින් ආරම්භ වූ මෙම ගැටුම් හේතුවෙන් මුළු මැදපෙරදිග කලාපයම දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සහ බලශක්ති මිල ගණන්ත් ඉහළ ගොස් තිබෙනවා.

මේ වගේ පසුබිමක, අමෙරිකානු ජනාධිපති Donald Trump තම Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා.

සාම ගිවිසුමකට එළඹෙන්න බැරි වුණොත් ඉරානයෙන් “කිසිවක් ඉතිරි නොවනු ඇති” කියලා ඔහු ප්‍රකාශ කර ඇති අතර, “ඉරානයට කාලය ඉතා වේගයෙන් ගෙවී යනවා. ඔවුන් ඉක්මන් වෙන්න ඕනේ” කියලාත් සඳහන් කරලා තියෙනවා.

 

Share This