ප්‍රධාන අරමුණ ඉන්ධන පරිභෝජනය අඩු කිරීමයි – ජනපති අනුර කුමාර දිසානායක

ජනාධිපති අනුර කුමාර දිසානායක කියන්නේ රජයේ ප්‍රධාන ඉලක්කයක් වෙලා තියෙන්නේ ඉන්ධන පරිභෝජනය අඩු කිරීම බවයි. ඒ අනුව තමයි ඉන්ධන මිල වැඩි කිරීම වගේ තීන්දු තීරණ ගන්න සිදුවුණේ කියලා ඔහු සඳහන් කළා.

නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමඟ මෙරට ඩීසල් ලීටරයක සැබෑ වියදම රුපියල් 720ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඒත් ජනතාවට ඩීසල් ලීටරයක් ලබා දෙන්නේ රුපියල් 392කට බවත්, රජය ඒ වෙනුවෙන් ලීටරයකට රුපියල් 100ක පමණ බරක් දරන බවත් ඔහු කියා සිටියා. ඒ අනුව තෙල් සංස්ථාවටත් විශාල පාඩුවක් සිදුවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඔහු කියන විදිහට, පෙබරවාරි මාසයේ තෙල් ආනයනයට වැයවූ මුදල ඩොලර් මිලියන 98ක් වුවත්, මැයි මාසය වනවිට එය ඩොලර් මිලියන 522ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ මාස කිහිපයක් ඇතුළත තෙල් ආනයන වියදම හය ගුණයකටත් වැඩි වෙලා කියලයි ඔහු පෙන්වා දුන්නේ.

ඒ වගේම විදුලිබිල ඉහළ යාම ගැනත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ, විදුලි ගාස්තු 18%කින් වැඩි කළත් බහුතර ජනතාවට එහි සම්පූර්ණ බලපෑමක් නොවන ආකාරයට සහන ලබාදුන් බවයි.

 

Share This