බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත්
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එය ඉදිරි පැය 24 තුල බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන්.
ඒ හේතුවෙන් පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.