ශ්‍රී ලංකාවට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද

තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද පැවැත්වෙනවා.

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම උත්සවය ආරම්භ වෙන්න නියමිතයි.

ඊට පස්සේ දෙරටේ නායකයින් එක්ව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්නත් සැලසුම් කරලා තියෙනවා.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මාලදිවයින් ජනාධිපතිවරයා අතර දෙරටේ දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවත් ශක්තිමත් කිරීම ගැන ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙන්න නියමිතයි.

ඒ වගේම විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමටත් බලාපොරොත්තු වෙනවා කියලා විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා මැයි 6 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනවා.

2023දී ජනාධිපති ධුරයට පත්වුණාට පස්සේ ඔහු ශ්‍රී ලංකාවට කරන පළමු නිල සංචාරයත් මේකයි.

මේ අතර, මෙම සංචාරය හේතුවෙන් මැයි 6 දක්වා කොළඹ නගරය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරලා තියෙනවා කියලා පොලීසිය සඳහන් කරනවා.

Share This