Sony සහ Honda සමාගම් එක්ව නිපදවීමට සැලසුම් කර තිබූ විදුලි මෝටර් රථ ව්‍යාපෘතිය අත්හිටුවයි
තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන සෝනි ගෲප් සහ මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛ සමාගමක් වන හොන්ඩා එකතු වෙලා ආරම්භ කළ Sony Honda Mobility නම් ඒකාබද්ධ ව්‍යාපාරයේ කටයුතු සීමා කිරීමට දෙපාර්ශවයම තීරණය කරලා තියෙනවා.
පවතින ව්‍යාපාරික ක්‍රමය යටතේ කෙටි කාලයකින් නව නිෂ්පාදන වෙළඳපොළට ගෙන ඒම දුෂ්කර බව තේරුම් ගැනීමෙන් පසුව මේ තීරණය ගෙන තිබෙනවා.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධානම නිෂ්පාදනය වුනේ Afeela කියන විදුලි මෝටර් රථයයි. 2026 වසරේදී එය වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබුණත්, එහි පළමු මාදිලිය සහ දෙවන මාදිලියේ සංවර්ධන කටයුතු දැන් සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙනවා.
Sony Honda Mobility ආයතනයේ සේවය කළ සේවකයින්ව ඔවුන්ගේ කැමැත්ත අනුව සෝනි හෝ හොන්ඩා සමාගම්වල වෙනත් අංශවලට නැවත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒත් ආයතනය සම්පූර්ණයෙන්ම විසුරුවා හැර නැහැ. එය නාමිකව තවදුරටත් පවත්වාගෙන යනවා.
අමෙරිකානු වෙළඳපොළ තුළ විදුලි මෝටර් රථ සඳහා ඇති ඉල්ලුම අඩුවීමත්, හොන්ඩා සමාගම තමන්ගේ විදුලි වාහන (EV) උපායමාර්ගය නැවත සලකා බැලීමත් මේ තීරණයට බලපා තිබෙනවා.
මේ ව්‍යාපෘතිය නවතා දැමුවත්, සෝනි සහ හොන්ඩා සමාගම් එක්ව මේ දක්වා නිපදවූ මෘදුකාංග සහ තාක්ෂණික මෙවලම් වෙනත් ක්ෂේත්‍රවල භාවිතා කිරීම ගැන තවදුරටත් සාකච්ඡා කරමින් සිටිනවා. ඒ නිසා මෝටර් රථ නිෂ්පාදනයෙන් පරිබාහිරවත් ඔවුන්ගේ සහයෝගීතාවය ඉදිරියට යා හැකි අවස්ථා තවමත් තිබෙනවා.
සමස්තයක් ලෙස බලද්දී, විදුලි මෝටර් රථ ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් කරන්න බලාපොරොත්තු වුණු මේ ජපන් සමාගම් දෙකේ ව්‍යාපෘතිය අඩපණ වීම, ගෝලීය මෝටර් රථ වෙළඳපොළේ පවතින අභියෝගාත්මක තත්ත්වය මනාව පෙන්වන සිදුවීමක් ලෙස සලකන්න පුළුවන්.
