ඉන්දු-ලංකා තෙල් නල මාර්ගය ගැන සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය විදේශ ලේකම් හෙළිකරයි

මෙරට සංචාරයක නිරත ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්ඡාවලදී, දෙරට අතර බලශක්ති සහ ආර්ථික සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීම ගැන විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි කියන්නේ, ත්‍රිකුණාමලයේ යෝජිත බලශක්ති මධ්‍යස්ථානය සහ ඉන්දියාව–ශ්‍රී ලංකාව තෙල් නල මාර්ගයකින් සම්බන්ධ කිරීමේ යෝජනාවත් මේ සාකච්ඡාවලදී ඉදිරියට ගෙන ආ බවයි. ලෝකයේ පවතින බලශක්ති අර්බුදය සැලකිල්ලට ගත්විට, එවැනි සම්බන්ධතා වල වැදගත්කම දෙපාර්ශවයම අවධාරණය කළා.

ඒ වගේම ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සහ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) ගැනත් සාකච්ඡා කරලා තියෙනවා.

ඉන්දීය උප ජනාධිපතිවරයාගේ මෙම දෙදින නිල සංචාරය අතරතුර ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසත් හමුවී තිබෙනවා.

Share This