ඉරානයෙන් පිටවන්න – තානාපති කාර්යාලයෙන් ඉන්දියානුවන්ට දැනුම්දීමක්

ඉරානය පුරා පවතින දරුණු රජයට විරෝධී උද්ඝෝෂණ සහ අස්ථාවර වාතාවරණය හමුවේ එහි සිටින සියලුම ඉන්දීය ජාතිකයන්ට වහාම ක්රියාත්මක වන පරිදි එරටින් පිටව යන ලෙස ඉරානයේ ඉන්දියානු තානාපති කාර්යාලය අද (23) නිල නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේය. වාණිජ ගුවන් ගමන් ඇතුළු පවතින ප්රවාහන මාධ්ය උපයෝගී කරගනිමින් හැකි ඉක්මනින් පිටව යන ලෙස සිසුන්, ව්යාපාරිකයන් සහ වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින තානාපති කාර්යාලය, අනවශ්ය ගමන් බිමන්වලින් වැළකී සිටින ලෙස ද අවධාරණය කරයි.
තෙහෙරාන් විශ්වවිද්යාලය ඇතුළු ප්රධාන නගර රැසක සිසුන් දස දහස් ගණනින් වීදි බැස සිටින අතර, විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර දරුණු ගැටුම් වාර්තා වන බව විදෙස් මාධ්ය පවසයි. ඉරානය තුළ පවතින අන්තර්ජාල බාධාවන් හේතුවෙන් ලියාපදිංචි වීමට නොහැකි පිරිස් වෙනුවෙන් ඉන්දියාවේ සිටින ඔවුන්ගේ ඥාතීන්ට අදාළ දත්ත යාවත්කාලීන කරන ලෙසත්, ඕනෑම හදිසි අවස්ථාවකදී සම්බන්ධ කරගත හැකි හදිසි දුරකථන අංක කිහිපයක් ද තානාපති කාර්යාලය විසින් ප්රසිද්ධ කර තිබේ.
Share This