රට තුළ නව පරිවර්ථනයක් සිදුවන හැටි අගමැතිනිය පහදයි

රට තුළ නව පරිවර්ථනයක් සිදුවන හැටි අගමැතිනිය පහදයි

පසුගිය වසර 75 තුළ රට ගමන් කරමින් සිටි දිශාව වෙනස් කරමින් පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම්ව නව පරිවර්ථනයක් රට තුළ සිදු කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කළ ඩිජිටල් පුස්තකාල සමුළුව 2024 අමතමින්.

එමෙන්ම රජයේ සංවර්ධන වැඩපිලිවෙළට පර්යේෂණ සහ සංවර්ධන සඳහා ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය වන බවද ඇය සඳහන් කර තිබෙනවා.

විශේෂයෙන් ඉහළම මට්ටම්වල තීරණ ගැනීමේ දී, විද්‍යාව මත පදනම්ව, සාක්ෂි මත පදනම්ව, දත්ත මත පදනම්ව තීරණ ගත යුතු බවත් තීරණ ගැනීමේ ක්‍රියාවලිය සහ පර්යේෂණ ප්‍රජාව වඩාත් සමීපව එකට වැඩ කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම ඇය සඳහන් කළේ නිෂ්පාදන, නවෝත්පාදන මෙන්ම සියළු විශේෂයෙන් ප්‍රමාණය,ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතු බවයි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය…

”තීරණ ගැනීමේ ක්‍රියාවලිය පමණක් නොව, අපට විභවයක් සහිත රටක් ලෙස ගත යුතු ඉදිරි පිම්ම වෙනුවෙන්, අපි නවෝත්පාදනය, නව සොයාගැනීම් වගේම නව තාක්ෂණය සඳහා ආයෝජනය කළ යුතුයි. ඒවගේම රටට ශක්තිමත් පර්යේෂණ හා සංවර්ධන අංශයක් අවශ්‍යයි. මේ වන තෙක් පර්යේෂණ සහ සංවර්ධන අංශයේ ආයෝජනය පැවතුණේ ඉතා පහළ මට්ටමක එය ක්‍රමයෙන් වෙනස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

මෙම අවස්ථාවට ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය සමන් සෙනේවීර, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සේපාලිකා සුදසිංහ, ජාතික විද්‍යා පුස්තකාල සම්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී මන්ජුල කරුණාරත්න යන ඇතුළු පර්යේෂකයින්, පුස්තකාලයාධිපතිවරුන් ඇතුළු විද්වතුන් පිරිසක් එක්ව සිටියා.

 

Share This