රුපියල් මිලියන 18කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ ඊයේ (05) රාත්රීයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී විශාල ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා.
කිලෝ 45යි ග්රෑම් 500ක කේරළ ගංජා තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබු අතර එහි වීථි වටිනාකම රුපියල් මිලියන 18 කට අධික බවටයි අනුමාන කෙරෙන්නේ.
උතුරු නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා වසභ ආයතනයට අයත් වෙරළබඩ මුර යාත්රා යොදවා යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ ඊයේ (05) රාත්රීයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබු සැකකටයුතු පොලිතීන් උර දෙකක් නාවික හමුදාවේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.
අනතුරුව ඒවා පරික්ෂා කළ නාවික හමුදාව විසින් එම පොලතීන් උර දෙකෙහි, පාර්සල් විස්සක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 45යි ග්රෑම් 500 ක තොගයක් තිබී සොයාගෙන ඇති බව සඳහන්.
මෙම ගංජා තොගය නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් එම මුහුදු ප්රදේශයේ අතහැර දමා යන්නට ඇති බවටයි සැක පළකරන්නේ.
එම කේරළ ගංජා තොගය, ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇති බව වැඩිදුරටත් සඳහන්.
ශ්රී ලංකාවට අයත් මුහුද හා වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කරනු ලබනවා.