නිරෝධා ඝාතනය කළ බ්‍රිතාන්‍ය අධිකරණයකින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

තියුණු ආයුධයකින් පහරදී  නිරෝධා නිවුන්හැල්ල නම් අවුරුදු 32ක්වූ කාන්තාව ඝාතනය කිරීමේ සිදුවීමට වරද පිළිගත්  තිසර වේරගලගේ නම් 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පැනවීමට එක්සත් රාජධානියේ අධිකරණයක් ඊයේ (20) තීරණය කර තිබේ. ඝාතනය වූ කාන්තාව වෙනත් අයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කිරීමකට සිදුවීමක් මුල්කරගනිමින් 2025 වසරේ අගෝස්තු 21 වනදා කාඩිෆ් හි රථගාලකදී තිසර විසින් ඇයව තියුණු ආයුධයකින් පහරදී රථගාලකදී ඝාතනය කර තිබුණි.  ඇය ඔහුගේ විවාහක බිරිඳ වුවත් කලක සිට ඔවුනොවුන් වෙනම ජීවත්ව ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය ආරම්භයේ දී ඔහු මිනීමැරුම් චෝදනා ප්‍රතික්ෂේප කර සිටියේය. කෙසේ නමුත් පසුගිය ජනවාරි මාසයේ පැවති නඩු විභාගයකදී ඔහු වරද පිළිගත් අතර, එහි තීන්දුව ඊයේ (20) ප්‍රකාශයට පත්කරන බව එදින දැන්වීය. ඒ හේතුවෙන් එම අධිකරණය ඔහුට මෙම ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම පනවා තිබේ. අදාළ නඩු විභාගයේ දී අනාවරණය වී ඇත්තේ ඝාතනයා විසින් අදාළ කාන්තාවට සෙන්ටිමීටර 15ක පමණ වූ උල් පිහියකින් ඇන පහර දී ඇති බවය. ඔහු විසින් ඇගේ මුහුණ, බෙල්ල, පපුව, අත සහ කකුලට දරුණු තුවාල සිදුකර තිබූ අතර, නවතා තිබූ මෝටර් රථ දෙකක් අතර ඇය එම ස්ථානයේදීම මියගොස් ඇත.

අදාළ ප්‍රහාරයක් කොතරම් දරුණුද යත්, ප්‍රහාරයට භාවිතා කළ පිහියේ මිට පවා කැඩී ගොස් තිබේ. මෙම යුවළ මිතුරෙකු හරහා මුණගැසී 2017 දී ශ්‍රී ලංකාවේදී විවාහ වී ඇති අතර, පසුව දෙදෙනාම වැඩිදුර අධ්‍යාපනය සහ වෘත්තීය කටයුතු වෙනුවෙන් බ්‍රිතාන්‍යයට ගොස් ඇත.  ඔවුන් 2022 දී කාඩිෆ් වෙත පදිංචියටද ගොස් ඇති බව අධිකරණයේ දී අනාවරණය වී තිබේ. කෙසේ නමුත් කලක් ගතවද්දී ඔවුන් දෙදෙනාගේ විවාහයේ ගැටලු ඇති වී ඇති අතර, ඒ හේතුවෙන් 2025 අප්‍රේල් මාසයේ සිට වෙන්වෙන්ව ජීවත් වී ඇත.

Share This