IMF ගිවිසුම වෙනස් කරන්න අපේ සහයෝගයත් අපි දෙන්නම්
වත්මන් රජය විශාල ජනවරමක් ලබා රටේ වගකීම බාර ගත් අවස්ථාවේ මේ රජය බලයට පත්වූ විගම ජන වරම උල්ලංඝනය කර ජනතා අයිතිය පාව දී තිබුණු ආකාරයටම අයි එම් එෆ් ගිවිසුමට එළඹිම මෑත කාලයේ සිදු වුණු ලොකුම පාවා දීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එබැවින් මේ ගිවිසුම් වෙනස් කළ යුතු බවත් දෙසැම්බර් 12 වැනිදාට පෙර රජයේ යෝජනාවක් පරිදි පාර්ලිමේන්තුව කැඳවා මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක් කරන වෙලාවේ සහාය දෙන්න විපක්ෂය සූදානම් බවත් ඝානා රට මෙන් අප රට ද කටයුතු කළ යුතු බවත් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව එයට උදව් කරන්න සූදානම් බවත් ඝානාව ගිය අඩිපාරේ රටක් ලෙස අප ද යා යුතු බවත් පවතින ගිවිසුම හරහා ගියොත් විෂම ණය චක්රයක කොටස්කරුවන් වී දශක ගණනාවක් පුරා ණය බරින් මිරිකුණු රටක් වන නිසා 12 වැනිදා ට පෙර ඇති කර ගන්නා එකගතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී රජයේ අයි එම් එෆ් ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළකරමින්.
‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාවේ 105 වැනි පිටුවට අනුව විකල්ප ණය තිරසර කරණ විශ්ලේෂණයක් හරහා මාලිමා රජය අයි එම් එෆ් එකත් සමඟ ඇති කර ගත් අවබෝධතා ඉදිරියට ක්‍රියාත්මක කරනවා කිව්වත් පසුගිය දින ඇති කර ගත් එකගතා මේ නව ක්‍රමය හරහා ද නැත්නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජයේ ක්‍රමය ට ද කියා ප්‍රශ්න කරන බවත් මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හැදීමේ ගමන පවතින අයි එම් එෆ් ගිවිසුම් එකගතාව මත ඉදිරියට යන්නේ නම් කඩා වැටෙන බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.
අයි එම් එෆ් එක 2023 මාර්තු නිකුත් කළ වාර්තාවට අනුව නැවත ණය ගෙවීම ආරම්භ කිරීම 2033 ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියත් මේ නව ගිවිසුම හරහා ණය ගෙවීමේ ක්‍රියාවලිය 2028 ආරම්භ වන බවත් තවත් වසර 4කින් ණය නැවත ගෙවීමේ ක්‍රියාවලියට ශක්තිමත් ආර්ථිකයක් ගෙවීමට කිසිදු රජයකට නොහැකි බවත් මේ ගිවිසුම හරහා රට අනතුරකට ලක් කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ අඩිපාරේම වත්මන් රජය සහ ජනාධිපතිවරයා යන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළා.
මේ රජය අයි එම් එෆ් වාර්තා කිසිදු පරිශීලනයකින් තොරව එකග වී විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීමේ අරමුණින් පමණක් කටයුතු කිරීම භයානක තත්ත්වයක් බවත් පවතින ගිවිසුම දුර්වල එකක් නිසා ඉන් ඔබ්බට යා යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් සඳහන් කළා.