පිළිකා හඳුනාගැනීමට පලමුව භාවිත කෙරෙන FDG ඖෂධය ලංකාවේදී නිපදවෙයි
2030 වසර පමණ වන විට පිළිකා රෝගීන් සංඛ්‍යාව 23%කින් ඉහළ යනු ඇතැයි අනුමාන වී ඇති බව විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි. මෙම තත්ත්වයට මුහුණ දීමේ පියවරක් ලෙස, පිළිකා පලමුව හඳුනා ගැනීමට භාවිත කරන FDG ඖෂධය මෙරට දී නිපදවීමට කටයුතු ආරම්භ කර ඇතැයි ද ඇමැතිවරයා කියා සිටී. මෙම ඖෂධ නිෂ්පාදනාගාරය, මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සැකසුම් කලාප පරිශ්‍රයේ ඉදිකර ඇති බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් හැටඅට ලක්ෂ හැත්තෑපන් දහසක් ආයෝජනය කර ඇති බවත් ඇමැතිවරයා වැඩි දුරටත් සදහන් කරයි. PET – SCAN පරීක්ෂණවලදී බහුලවම භාවිත කරන විකිරණශීලී ඖෂධයක් වන FDG ඖෂධය ලංකාවේ ඉදිකරන ලද පරිශ්රයක නිෂ්පාදනය කරන පළමු අවස්ථාව මෙය වන බවත් සදහන් කරයි. දැනට FDG ඖෂධය ඉන්දියාවෙන් ආනයනය කෙරෙන බව ද ඇමැතිවරයා පවසයි.
