ට්‍රම්ප්ගේ ‘සාම මණ්ඩලය’ වැට උඩ

ට්‍රම්ප්ගේ ‘සාම මණ්ඩලය’ වතිකානය ප්‍රතික්ෂේප කරයි: විසඳුම් සෙවිය යුත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බව අවධාරණය කරයි.
ගාසා තීරයේ තාවකාලික පාලනය අධීක්ෂණය කිරීමේ අරමුණින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමා සභාපතිත්වය දරන පරිදි මෙම ‘සාම මණ්ඩලය’ ස්ථාපිත කරනු ලැබූ අතර, ගාසා තීරය නැවත ගොඩනැංවීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි පළමු රැස්වීම එළඹෙන බ්‍රහස්පතින්දා වොෂින්ටනයේදී පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය හරහා වාර්තා වෙනවා.
මෙම ‘සාම මණ්ඩලයට’ සම්බන්ධ වන ලෙස පළමු ඇමරිකානු පාප් වහන්සේ වන සහ ට්‍රම්ප්ගේ ඇතැම් ප්‍රතිපත්ති විවේචනය කරන්නෙකු වන ලියෝ පාප් වහන්සේට ජනවාරි මාසයේදී ආරාධනා කර තිබුණා. කෙසේ වෙතත්, වතිකානයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා වන කාදිනල් පියෙට්‍රෝ පැරොලින් ඊයේ (17) දින ප්‍රකාශ කළේ, අර්බුදකාරී තත්ත්වයන් පාලනය කිරීමේ උත්සාහයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ම මෙහෙයවිය යුතු බවයි. ඒ අනුව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ‘සාම මණ්ඩලය’ නමැති වැඩපිළිවෙළට වතිකානය පාර්ශ්වයෙන් කිසිඳු සහභාගීත්වයක් සිදු නොවන බව ඔහු තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම ‘සාම මණ්ඩලය’ හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලය හෑල්ලුවට ලක්විය හැකි බව බොහෝ රටවල් පෙන්වා දෙනවා.
