ඇමෙරිකානුවන්ට විශ්‍රාම දිවිය ගත කරන්න ලොව හොඳම රට ශ්‍රී ලංකාව

මසකට ඇමෙරිකානු ඩොලර් 1000 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ තුනක් පමණ) මුදලක් වියදම් කිරීමට හැකියාව ඇත්නම් විශ්‍රාම දිවිය ගතකිරීමට ලොව හොඳම රට ශ්‍රී ලංකාව බවත්,  විශ්‍රාම යුවළකට ලංකාවේදී සුඛෝපභෝගී ජීවිතයක් ගතකළ හැකි බවත් ඇමෙරිකාවේ ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් සඟරාව පසුගියදා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීමකින් හෙළි කර සිටී.

ඇමෙරිකානුවන් මුදල් නොමැතිවීම හේතුවෙන් විශ්‍රාම යාමට අදිමදි කරන බවත් පසුගිය වසරේදී විශ්‍රාම යන කාලය දීර්ඝ කර ගැනීමට උත්සාහ දැරුවන් පිරිස 2024 සාපේක්ෂව  14% කින් ඉහළ ගොස් ඇති බවත් එම සඟරාව හෙළිකරයි.  දැන් එම ප්රශ්නයට විසඳුමක් ලැබී තිබෙන බවත් ඇමෙරිකාවේ විශ්‍රාම ගන්නන්ට ශ්‍රී ලංකාවේදී සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට හැකියාව තිබෙන බවත් ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් සඟරාව තවදුරටත් ප්‍රකාශ කළේය.

කෑම බීම, ඉඳුම් හිටුම්, ගමනාගමන පහසුකම් සියල්ලම දැරිය හැකි මට්ටමක තිබෙන බවත් ඇමෙරිකානු ඩොලර් 1000 ක් වියදම් කරන යුවලකට මාසයේ වැඩි දවස් ප්‍රමාණය පිටින් ආහාර ගැනීමට හැකියාව තිබෙන බවත් එම සඟරාව පෙන්වා දෙයි. ඇමෙරිකානු ඩොලර් හතරක මුදලට යුවලකට තුන්වේලම දේශීය ආහාර ලබාගත හැකි බවත් එම සඟරාව ප්‍රකාශ කළේය.

එම සඟරාවේ  ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට වියට්නාමයට හැකිවී ඇති අතර ඇමෙරිකානු ඩොලර් 1800 ක මුදලකට යුවලකට වියට්නාමය තුළ සිය විශ්‍රාම දිවිය සුඛෝපභෝගීව ගතකළ හැකි බව එම සඟරාව පැවැසුවේය. එහි තෙවැනි ස්ථානය තායිලන්තයට හිමිව තිබෙන අතර ඇමෙරිකානු ඩොලර් 2000 ක් වියදම් කළ හැකි යුවළකට සුඛෝපභෝගීව තායිලන්තයේ සිය විශ්‍රාම දිවිය ගත කිරීමට හැකියාව ඇත.

එසේම එම ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානය ඉන්දුනීසියාවේ බාලි දූපත් වලටත්, පස්වැනි ස්ථානය මැලේසියාවටත් හිමිව තිබේ. ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් සඟරාව මාසික සඟරාවක් වන අතර ලක්ෂ 48 ක පාඨක පිරිසක් සිටී.

Share This