බළංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

බළංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

(අකිලා නදීෂානි බණ්ඩාර)
ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් දසදෙනා පෙබරවාරි 2 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි. ඒ අද (28දා) එම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලට අදාළ නඩුව ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (28දා) යළිත් කැඳවුණි.

එහිදී එම නඩුවේ සැකකරුවන් ලෙස නම් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි භික්ෂූන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් 10දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
එම පිරිස අතරට ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමි, බලංගොඩ කස්සප හිමි, ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමි සහ නන්ද හිමියන්ද ඇතුළත් වූහ. රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව 30 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Share This