රේගුවේ ඇති BYD රථ මුදාහරින්න නියෝග

රේගුවේ ඇති BYD රථ මුදාහරින්න නියෝග

-අකිලා නදීෂානි බණ්ඩාර-
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක BYD වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදාහරින ලෙස අභියාචනාධිකරණය ශ්‍රී ලංකා රේගුවට නියෝග කරයි.
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම වාහන ආනයනය කළ පුද්ගලික සමාගම විසින් ගොනුකළ පෙත්සමක් (11දා) කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව විසින් ඊට එකඟතාව පළ කර සිටියේය.
ඒ අනුව රේගුව භාරයේ රඳවාගෙන තිබූ BYD ඇටෝ ප්‍රිමියම් කිලෝ වොට් 70, ඇටෝ ඩයිනමික් කිලෝ වොට් 45, ඇටෝ ප්‍රිමියම් කිලෝ වොට් 45, ඩොල්ෆින් ඩයිනමික් කිලෝ වොට් 70 යනාදී කාණ්ඩවලට අයත් වාහන 625ක් බැංකු ඇපකර හා සමාගම් ඇපකර මත මුදා හැරීමට එකඟ වන බව ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා රේගුව විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් මහත්මිය එකඟතාව පළ කළාය.
ඉන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු සභාපති රොහාන්ත අබේසුරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම වාහන මුදාහැරීමට අදාළ නියෝග නිකුත් කළේය.

Share This