කෝටි 27ක වත්කම් නඩුව කෙහෙළිය පුත් රමිත්ට අධි චෝදනා භාර දෙයි

-අකිලා නදීෂානි බණ්ඩාර-
රුපියල් කෝටි 27ක වත්කම් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙයි.
මෙම නඩුව (11දා) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා භාරදීම සිදුවුණි.
ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියම කළේය.
විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියේය.
2022 වසරේ ජනවාරි 01 වැනිදා සහ 2023 වසරේ නොවැම්බර් 14 වැනිදා අතර දක්වා කාලසීමාව තුළ රුපියල් 296,566,444.76ක් වටිනා වත්කම් හා දේපොළ උපයාගෙන ඉන් රුපියල් 275,302,616.06ක වටිනාකමකින් යුත් මුදල් හා දේපොළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන්ද කටයුතු කර ඇති මෙම විත්තිකරුට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබේ.
