රාමනාදන් අර්චුනාට පාර්ලිමේන්තුවේදී පහර දීලා
තමන්ට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පහර දුන් බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කරමින් ඔහු කියා සිටියේ, විපක්ෂ නායක කාර්යාලයට පැමිණි අවස්ථාවේදී එම සිද්ධිය සිදු වූ බවයි.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව පැවැත්වෙන විවාදය තමන්ට වෙන් කර ඇති කාලය සම්බන්ධයෙන් දැනගැනීම සඳහා මන්ත්‍රීවරයා විපක්ෂ නායක කාර්යාලය වෙත ගොස් තිබුණා.
එහිදී සුජිත් සංජය පෙරේරා නමැති පුද්ගලයා පහර දුන් බවයි, මන්ත්‍රී අර්චුනා චෝදනා කළේ.
“පස්වරු 02.30ට විතර මම විපක්ෂ නායක කාර්යාලය වෙත ගියා. විවාදය සඳහා වෙන් කරලා තිබුණ වෙලාව ගැන අහන්නයි ගියේ. කොහොමද වෙලාව වෙන් කරන්නේ.? අද දවස ගැන කිසිම දෙයක් මට කියලා තිබුණේ නැහැ. හෙට මගේ වෙලාව තියෙනවා ද නැද්ද කියලා අහන්න ගියා. එතැන නිලධාරින් හිටියා. එයාලා මාව කාමරයකට එක්කගෙන ගියා. ඒ ගොල්ලෝ හවස 4.00ට වෙලාව දෙන්න පුළුවන් කියලා. මේ වෙලාව දෙන්නේ කොහොමද කියලා මට දැනගන්න අවශ්‍ය වුණා. එතකොට සුජිත් කියන පුද්ගලයාටයි, තව කෙනෙකුටයි කතා කරන්න කිව්වා. එයාලා තමා තීරණය ගන්නේ කියලා. ඒ ගොල්ලන්ට තනි තීරණයක් ගන්න බැහැ කියලා කිව්වා. පක්ෂ නායක විදිහ මට උත්තරයක් අවශ්‍යයි කියලා කිව්වා. ඒ වෙලාවේ සුජිත් කියන පුද්ගලයා මට ගැහුවා.”
ඊට පිළිතුරු ලබාදෙමින් කාරක සභා සභාපතිනිය ඉල්ලීමක් කළේ, අදාළ කාරණාව සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කරන ලෙසටයි.