නව ත්‍රිරෝද රථ මිල අපිට ප්‍රශ්නයක් නෑ, මූල්‍ය පහසුකම් නීතිය සංශෝධනය කරන්න – ත්‍රිරෝද රථ සංගම්

නව ත්‍රිරෝද රථ මිල අපිට ප්‍රශ්නයක් නෑ, මූල්‍ය පහසුකම් නීතිය සංශෝධනය කරන්න – ත්‍රිරෝද රථ සංගම්

(ශිරාන් රණසිංහ)

වාහන ආනයන සීමා ඉවත් කිරීමත් සමග මෙරට නව ත්‍රිරෝද රථයක මිල අධික බවට පසුගියදා කතා බහක් ඇති වුවත් ගැටළුව ඇත්තේ ත්‍රිරෝද රථ මිලේ නොව එය මිලදී ගැනීමට ඇති හැකියාව අහුරා තිබීම බව ත්‍රිරෝද රථ සංගම් පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ථ ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේ ත්‍රිරෝද රථයක මිලෙන් සියයට 50ක් බදු වන අතර 2020 වසරේදී වාහන ආනයන තහනම පනවන විටද ත්‍රිරෝද රථයේ විකුණුම් මිලට සියයට 50ක බදු මුදලක් ඇතුළත් වූ බවයි.

නමුත් වර්තමානයේ ඩොලරයේ වටිනාකම සහ නව ත්‍රිරෝද රථයේ එන්ජින් ධාරිතාව ඉහළ යාම නිසා විකුණුම් මිල වසර 05කට පෙර පැවති මට්ටමට වඩා ඉහළ ගොස් ඇති බවත් ඔහු කියා සිටියේය.

“ඇත්තටම අපි හිතන් හිටියේ ත්‍රිරෝද රථයක නව මිල මිලයන 2ටත් වඩා වැඩි වේවි කියල. එහෙත් ලක්ෂ 19ක් වැනි මිලකට නව ත්‍රිරෝද රථය ලැබීම සම්බන්ධයෙන් අපි රජයට ස්තුති වන්ත වනවා,” යැයි ධර්මසේකර මහතා පැවසුවේය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ගැටළුව තිබෙන්නේ ත්‍රිරෝද රථයේ විකුණුම් මිලේ නොව ත්‍රිරෝද රථවලට මූල්‍ය පහසුකම් ලබාදීමේදී ලබා දෙන ප්‍රතිශතය සම්බන්ධයෙන් බවයි.

අනෙකුත් සියලුම වාහනවලට සියයට 70ක පමණ ලීසිං පහසුකම් මූල්‍ය ආයතනවලින් ලබා දුන්නද ත්‍රිරෝද රථයට ලීසිං ලබාදෙන්නේ එහි වටිනාකමෙන් සියයට 25ක මුදලක් පමණක් වන බවයි.

එනිසා දුප්පතාගේ වාහනය වන ත්‍රිරෝද රථය මිලදී ගන්නා ජනතාවට සියයට 75ක මුදලක් අතින් ගෙවීමට සිදු වන අතර එය ඉතා අසාධාරණ බවත් ධර්මසේකර මහතා කියා සිටියේය.

මෙහිදී ධර්මසේකර මහතා තවදුරටත් පැවසුවේ 2015 වසරේදී හදුන්වාදුන් ත්‍රිරෝද රථවලට පමණක් සියයට 25ක පමණ මූල්‍ය පහසුකම් ලබාදීමේ නීතිය සංශෝධනය කර මෙරට හැම කෙනෙකුටම මිලදී ගත හැකි වාහනය වන ත්‍රිරෝද රථයටත් අනෙකුත් වාහනවලට මෙන්ම සියයට 70ක මූල්‍ය පහසුකම් ලබාගත හැකි වන පරිදි නීති ඊති සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

එසේ මෙම ක්‍රමවේදය සංශෝධනය කරන්නේනම් මෙරට මූල්‍ය ආයතන අනෙකුත් වාහනවලට සේම ත්‍රිරෝද රථවලටද සියයට 70ක මූල්‍ය පහසුකම් ලබාදීමට සූදානමින් සිටින බවත් ධර්මසේකර මහතා පැවසුවේය.

Share This