2030 වන විට ළමා පිළිකා රෝගීන්ගේ දිවි ගලවා ගැනීමේ අනුපාතය 60% දක්වා ඉහළ නැංවීමට ජිනීවා හිදී ගෝලීය සෞඛ්‍ය නායකයින් ප්‍රතිඥා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඩොක්ටර් ටෙඩ්රොස් අධානොම් ගෙබ්‍රෙයෙසස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවට ලෝකයේ රටවල් 194ක සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජිතයින් සහභාගී වී තිබෙනවා.
“One World for Health” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවට සමගාමීව, ළමා පිළිකා මර්දනය සහ පිළිකාවෙන් සුවය ලැබූ දරුවන්ගේ අනාගත සුරක්ෂිත කිරීම සම්බන්ධ විශේෂ සැසියක් ද ජිනීවාහිදී පැවැත්වුණා.
“Measuring survival, driving change” යන තේමාව යටතේ පැවති මෙම සැසියේ ප්‍රධාන අරමුණ වී තිබුණේ 2030 වන විට ලොව පුරා ළමා පිළිකා රෝගීන්ගේ දිවි ගලවා ගැනීමේ අනුපාතය අවම වශයෙන් සියයට 60 දක්වා ඉහළ නැංවීමයි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, පිළිකාවෙන් සුවය ලැබූ දරුවන්ට සෞඛ්‍ය සම්පන්න, ගෞරවනීය සහ අංග සම්පූර්ණ ජීවිතයක් ලබාදීම සියලු දෙනාගේම වගකීමක් බවයි.
පිළිකාව කලින් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර ක්‍රමවල දියුණුව හේතුවෙන්, ලොව පුරා දරුවන් රැසක් මේ වනවිට ජීවිතය ජයගන්නා බවත්, නමුත් සැබෑ සාර්ථකත්වය වන්නේ ඔවුන් ජීවත් වන ආකාරය අනුව තීරණය වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.
ළමා පිළිකාවෙන් සුවය ලැබූ දරුවන්ට හෘද රෝග, මානසික ගැටලු, ඉගෙනීමේ අපහසුතා සහ සමාජීය අභියෝග වැනි දිගුකාලීන බලපෑම් ඇතිවිය හැකි බැවින්, ජීවිත කාලය පුරාම පසු විපරම් සහ සහායක සත්කාර ලබාදීම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකාවේ නොමිලේ සෞඛ්‍ය සේවා පද්ධතිය මේ සඳහා ශක්තිමත් පදනමක් සපයන බවත්, රෝහල්, පාසල්, පවුල් සහ ප්‍රජාව සමඟ සම්බන්ධ වූ අඛණ්ඩ සත්කාර පද්ධතියක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එමෙන්ම WHO Global Initiative for Childhood Cancer වැඩසටහන සමඟ එක්ව ශ්‍රී ලංකාව ළමා පිළිකා මර්දනය, කලින් හඳුනා ගැනීම, ගුණාත්මක ප්‍රතිකාර සහ ජීවිතය ජයගත් දරුවන් සඳහා පසු සත්කාර සේවාවන් ශක්තිමත් කිරීමට කැපවී සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
