හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට

සිංහල–දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුව අනුව හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට (17) දිනට යෙදී ඇත. හෙට පෙරවරු 5.38ට යෙදී ඇති සුබ වේලාවට රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරිබත, හෙළ මෝරු සහ උදු මිශ්‍ර කැවිලි භුක්ති විඳ උතුරු දිශාව බලා පිටත්ව යාම යෝග්‍ය බව සඳහන් වේ.

ඊට අමතරව, අප්‍රේල් 20 වන සඳුදා පෙරවරු 6.27ට රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත යෙදී තිබේ. එදින ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත සහ එළකිරි මිශ්‍ර කැවිලි භුක්ති විඳ දකුණු දිශාව බලා පිටත්ව යාම හෝ පෙරවරු 6.50ට මුතු සහ ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ තල මිශ්‍ර කිරිබත සමඟ දී කිරි සහ අග්ගලා භුක්ති විඳ නැගෙනහිර දිශාව බලා පිටත්ව යාම සුදුසු බව ද පෙන්වා දේ.

එමෙන්ම, අප්‍රේල් 23 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.01ට පැළ සිටුවීම සඳහා නැකත යෙදී ඇති අතර, එම අවස්ථාවේ රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැළ සිටුවීම යහපත් බව නැකත් සීට්ටුවේ සඳහන් වේ.

Share This