සැබෑ තත්වය ජනතාවට කියන්න – රට තුල ඩොලර් බිලියන 7ක පමණ සංචිත තියෙනවා

විපක්ෂ නායකවරයා පවසන්නේ, රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන පුරවැසියන් හොඳ අවබෝධයක් ලබාගත යුතු බවයි. ඔහු සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් රටකට අවම වශයෙන් මාස තුනක ආනයන වියදම් ආවරණය කළ හැකි විදේශ සංචිත තිබීම ආර්ථික විද්‍යාවේදී පිළිගත් මූලධර්මයක් බවයි.

ඔහු අනුව මේ වනවිට රට සතුව ඇමෙරිකා ඩොලර් බිලියන 7ක පමණ විදේශ සංචිත පවතිනවා. එයින් සෑම මසකම ආනයන සඳහා ඩොලර් බිලියන 2ක් පමණ වැය කිරීමට සිදුවන බවත්, ඒ නිසා සංචිත භාවිත කළ හැකි ප්‍රමාණය සීමිත බවත් ඔහු පෙන්වා දෙනවා.

තවද ඒ සංචිත අතරින් ඩොලර් බිලියන 1.2ක් පමණ චීන යුවාන් ලෙස ඇති අතර, එය සෘජුව භාවිත කළ නොහැකි කොටසක් බවත් ඔහු සඳහන් කරනවා.

ඉන්ධන මිල ඉදිරියට තවත් ඉහළ ගියහොත් ආනයන ආවරණ හැකියාව තවත් අඩුවිය හැකි බවත් ඔහු අනතුරු අඟවනවා. ඒ වගේම 2027 මාර්තු වන විට IMF වැඩසටහන අවසන් වීමට නියමිත බවත්, 2028 සිට වාර්ෂිකව ඩොලර් බිලියන 3ත් 3.5ත් අතර ණය ගෙවීම්ද සිදු කිරීමට සිදුවන බවත් ඔහු පවසනවා.

මැදපෙරදිග යුද තත්ත්වය දිගටම පැවතීමෙන් එම ප්‍රදේශයේ ආර්ථිකය අස්ථාවර වුවහොත්, ශ්‍රී ලංකාවට ලැබෙන විදෙස් ප්‍රේෂණ අඩුවීමේ අවදානමක්ද පවතින බව ඔහු අවධාරණය කරනවා.

මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින්, අපනයන වැඩි කිරීම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ආර්ථිකය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවයි විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ.

Share This