ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් සහ ඇමති ලාල්කාන්ත අතර හමුවක්
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) මහලේකම් Nurlan Yermekbayev සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අතර හමුවක් ඊයේ ගොවිජන මන්දිරයේදී පැවැත්වුණා.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව සහ SCO අතර තියෙන සම්බන්ධතාවය තවත් ශක්තිමත් කරගෙන යන්න මේ හමුව වැදගත් අවස්ථාවක් බවයි.
ශ්‍රී ලංකාව SCO සංවිධානයේ දිගුකාලීන හවුල්කාරීත්වය අගය කරන බවත්, කලාපීය සහයෝගීතාව, තිරසාර සංවර්ධනය සහ දකුණු ගෝලීය එකමුතුව වෙනුවෙන් SCO විශාල වැඩකොටසක් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ආහාර සුරක්ෂිතතාවයට ඉතා වැදගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, කෘෂිකාර්මික තාක්ෂණය, දේශගුණයට ඔරොත්තු දෙන ගොවිතැන, පොහොර, පශු සම්පත්, පර්යේෂණ, ආහාර සැකසීම, කෘෂිකාර්මික යන්ත්‍රීකරණය සහ වෙළඳපොළ අවස්ථා වැනි අංශවල SCO රටවල් සමඟ වැඩි සහයෝගීතාවයක් ඇති කරගැනීමට හැකියාව තියෙන බවත් කියා සිටියා.
එසේම ආර්ථික ඒකාබද්ධතාවය සහ සංවර්ධනය වෙනුවෙන් SCO සංවිධානය තුළ සිදුවෙන වැඩපිළිවෙලවලට ශ්‍රී ලංකාව සක්‍රීයව දායක වීමට සූදානම් බවත් ඔහු සඳහන් කළා.
අදහස් දැක්වූ SCO මහලේකම් Nurlan Yermekbayev කියා සිටියේ ශ්‍රී ලංකාව මේ වනවිට වේගවත් සංවර්ධන ගමනක නිරත වන බවත්, රටේ ආර්ථිකය සහ ජාත්‍යන්තර පිළිගැනීම ශක්තිමත් වෙමින් පවතින බවත්ය.
SCO සංවිධානයේ සාමාජික රටවල් 27ක් සහ සම්බන්ධ ආයතන 15ක් සිටින බවත්, ලෝක ආර්ථිකයෙන් 25%ක් සහ ලෝක භූමි ප්‍රමාණයෙන් 40%ක් මෙම සංවිධානය යටතට අයත් වන බවත් ඔහු පැවසුවා.
ශ්‍රී ලංකාව තම සංවිධානයේ වටිනා සහකරුවෙකු බව සඳහන් කළ මහලේකම්වරයා, තිරසර කෘෂිකර්මාන්තය සහ නව කෘෂිකාර්මික වැඩසටහන් ඔස්සේ ඉදිරියට යා යුතු බවත් කියා සිටියා.
එමෙන්ම SCO සංවිධානයේ මීළඟ සභාපතිත්වය පකිස්ථානයට හිමිවන බවත්, එහි පැවැත්වෙන අමාත්‍යාංශීය රැස්වීමට අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තට ආරාධනා කළ බවත් ඔහු සඳහන් කළා.
